දෙරට අතර සබඳතා තර වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 24, 2021

දෙරට අතර සබඳතා තර වෙයි

ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකාවේ වසර තිහක ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වෙමින් පාකිස්තානය සිය කාර්යභාරය ඉටු කළ බවත් දෙදින නිල සංචාරයක නිරත වන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ (23) පස්වරුවේ පැවැසීය. 

පාකිස්තානය ලොව විශාල බෞද්ධ උරුමයක් තිබෙන රටවලින් එකක් බව කී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බෞද්ධ සිද්ධස්ථාන සහ ඉපැරැණි බෞද්ධ ශිෂ්ටාචාර නැරැඹීමට ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාවට ආරාධනා කරන බව ද කීය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරමින් එය ආරම්භ කරන බවත් මේ තුළින් දෙරටේ සහයෝගීතාව තවදුරටත් වැඩි කරගත හැකි බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කීවේය. 

 ත්‍රස්තවාදයට මුහුණ දෙන රටකට ආර්ථික සංවර්ධන අත්පත් කරගත නොහැකි බවත් ආයෝජන ආකර්ශනය කරගත් නොහැකි බවත් ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් ත්‍රස්තවාදය නිසා එවැනි දුෂ්කර කාල සීමාවකට මුහුණ දුන් බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීය. 

 දෙදින නිල සංචාරයක නිරත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අරලිය ගහ මන්දිරයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්මින් එම කරුණු සඳහන් කළේය. 
වෙළෙඳාම සහ ආයෝජනය ඇතුළු ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කරගැනීමේ දෙරටට තවදුරටත් සමීප විය හැකි බවත් හෙතෙම කීය. 

පාකිස්තානය චීනයේ තීරයක් මාවතක් ව්‍යාපෘතියේ පාර්ශවකරුවකු බවත් චීන-පාකිස්තාන ආර්ථික තීරය එහි ප්‍රධාන අංගයක් බවත් කී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාකිස්තානය සහ මධ්‍යම ආසියාව අතර තිබෙන සම්බන්ධතා ජාලය මගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බව ද කීවේය. 

 එහිදි තවදුරටත් අදහස් දැක්වූ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙසේ ද කීය. 

"මටත් මගේ දූත පිරිසටත් ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ස්තූති කරනවා. ඔබේ සත්කාරකත්වයට මා කෘතඥ වෙනවා. ඔබ කී පරිදි මා ශ්‍රී ලංකාවට අමුත්තකු නොවේ. මා මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ විශ්වවිද්‍යාලයෙන් නික්මුණු විගසයි. එතකොට මම මගේ ක්‍රිකට් වෘත්තීය ජීවිතය ආරම්භ කරන කාලයයි. ඔබ ඔබේ දේශපාලන වෘත්තිය ආරම්භ කරන කාලයේදී මම මගේ ක්‍රිකට් වෘත්තිය ආරම්භ කරනවා. එතැන් පටන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉමිහිර මතකයන් තිබෙනවා. ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක සිට ශ්‍රී ලංකාව දියුණු වූ ආකාරය ඉදිරියට පැමිණි ආකාරය අපි දුටුවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනෙන් ඉදිරියට පැමිණෙමින් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ දී ලෝක කුසලානය දිනාගත්තා. මාත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණුව දැක්කා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක මට්ටමේ, විශිෂ්ට කණ්ඩායමක් දක්වා පැමිණියා. අපිට ඒ ගැන මහත් සතුටක් තිබෙනවා. මොකද ඔවුනුත් මේ උප මහද්වීපයේ කණ්ඩායමක්. මම ඒ දේවල් මතක් කරන්න ඕනෑ. මොකද මේ මොහොත වෙනකං, මේ සංචාරය තෙක් ශ්‍රී ලංකාව සමඟ මගේ සම්බන්ධය තිබුණේ ක්‍රිකට්වලින්. මා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ අප දෙරට අතර පවතින ද්විපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කරගන්න. අප දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජනය තවදුරටත් වර්ධනය කරගන්නයි. පාකිස්තානය, චීනයේ තීරයක් මාවතක් ව්‍යාපෘතියෙක් පාර්ශවකරුවෙක්. 

චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව එහි ප්‍රධාන අංගයක්. එය ජාලයක් බව කිව යුතුයි. අප දෙරටේ අතර ජාලයක් නිර්මාණය කිරීමට අප අතර සම්බන්ධතා ඇති කරගන්න හැකි විවිධ ක්‍රම දෙස බලන්නැයි මම මගේ දූත පිරිසේ ප්‍රධානීන්ට දැනුම් දුන්නා. ඒ සඳහා ඔවුන්ට උපදෙස් දුන්නා. චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව තුළින් මධ්‍යම ආසියාවටත් ශ්‍රී ලංකාවටත් සම්බන්ධ විය හැකි ආකාර දෙස බලන්නැයි මම ඔවුන්ට උපදෙස් දුන්නා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙඳාම තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද අපි තවදුරටත් සාකච්ඡා කළා. පාකිස්තානය සහ මධ්‍යම ආසියාව අතර සම්බන්ධතා ජාලයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබන්න පුළුවන්. අපේ මේ වෙළෙඳ සම්බන්ධතාවලින් අපේ රටවල් දෙක අතර සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඒ වගේම අපේ රටවල් දෙක තවදුරටත් සමීප වෙනවා. අපේ රටවල් දෙකට පොදු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ත්‍රස්තවාදය. 

පාකිස්තානය අවුරුදු දහයක් දරුණුම ආකාරයේ ත්‍රස්තවාදයකට මුහුණ දුන්නා. අපට මිනිස්සු 70,000ක් අහිමි වුණා. ශ්‍රී ලංකාව අවුරුදු තිහක් ත්‍රස්තවාදයට එරෙහිවට සටන් කළා. සංචාරක කර්මාන්තය මත යැපෙන රටක් ත්‍රස්තවාදයට මුහුණ දෙනවා නම් ඒ රටට ඉදිරියට යන්න බැහැ. ත්‍රස්තවාදය නිසා ශ්‍රී ලංකාවට සංවර්ධනය අත්පත් කරගන්න බැරි වුණා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ගෙන ගිය සටනේදී පාකිස්තානය ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළා. මා එය සිහිපත් කරන්නේ ඉමහත් සතුටකින්. ත්‍රස්තවාදය තිබෙනවා නම් ආයෝජන ගෙන්වාගන්න බැහැ. පාකිස්තානයට වුණෙත් එයයි. 

ත්‍රස්තවාදය නිසා අපට වසර දහයක් ආයෝජන ආවේ නැහැ. දැන් අපට තවත් පොදු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ‘කොවිඩ්-19’ වසංගතය. සංචාරක කර්මාන්තයෙන් යැපෙන සෑම රටක් වගේම ශ්‍රී ලංකාවත් මේ නිසා පීඩාවට පත්ව තිබෙනවා. සංවර්ධිත රටවලට සංවර්ධනය වන රටවලට උදව් උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ ප්‍රශ්නයට ඔවුන්ට පමණක් පොදු ප්‍රශ්නයක් නොවන බව සංවර්ධිත ලෝකය තේරුම් ගන්න වුවමනායි. මේ අර්බුදය හේතුවෙන් වැඩියෙන්ම බලපෑමට ලක්ව තිබෙන්නේ දුප්පත් රටවල් බව ඔවුන් තේරුම් ගත යුතුයි. දුප්පතුන් හැම තැනම පීඩාවට පත්වෙලා. 

දුප්පත් රටවල් ණය සහන ගන්නේ කෙසේදැයි අපි සාකච්ඡා කළා. පාකිස්තානය ඉතිහාසයේ විශාලතම ආර්ථික උත්තේජක පැකේජය හඳුන්වා දුන්නා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන අටක්. ඇමෙරිකාවත් එක්ක සංසන්දය කරද්දි, ඇමෙරිකාවේ ආර්ථික උත්තේජක පැකේජයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3,000ක්. ඇමෙරිකාවේ ජනගහනය මිලියන 330ක්. පාකිස්තානයේ ජනගහනයේ මිලියන 220ක්. ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට 70ක්. නව කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට අපට දෙන්න පුළුවන් ඇමෙරිකානු ඩොලර් බිලියන අටක් විතරයි. හැබැයි ඇමෙරිකාව ඩොලර් බිලියන 3,000ක් දෙනවා. මේක තමයි වෙනස. ලෝකයේ තිබෙන විශාල අසමානාත්මතාව මෙයයි. 

 එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ලෝක සංවිධානය මීට මැදිහත් විය යුතු යැයි මා සිතන්නේ ඒ නිසයි. නව කොරෝනා වයිරසය නිසා ඇත්තටම පීඩාවට පත්ව ඇති රටවල් දෙස බලන්න. ඊට අමතරව, මා ඔබට නැවත වරක් පාකිස්තානයට ආරාධනා කරනවා. පාකිස්තානය ලොව විශාල බෞද්ධ උරුමයක් තිබෙන රටවලින් එකක්. අපි මෑතකදී ලොව විශාලම සැතපෙන බුදු පිළිමයක් සොයාගත්තා. එය අඩි 40ක් දිගයි. උතුරු පාකිස්තානය ගාන්ධාර ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයයි. අතීත බෞද්ධ ශිෂ්ටාචාරයයි. 

අපි ශ්‍රී ලංකාවේ ජනතාවටත් පාකිස්තානයට ආරාධනා කරනවා. බෞද්ධ ප්‍රජාවේ අයට, බෞද්ධාගමිකයන්ට, බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගන්න අවස්ථාවක් අපි සලසා දෙනවා. මා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරමින්, එය ආරම්භ කරනවා’’. එහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කීය. ‘‘පාකිස්තාන අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිස පිළිගැනීමට ලැබීම පිළිබඳව මම මහත් සතුටට පත් වෙනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඔබ ශ්‍රී ලංකා ජනතාවට අමුත්තකු නොවේ. පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රිකට් පිටියේ ඔබගේ නායකත්වය අගය කළ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිනවා. ඔබගේ රට දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවක් වන අතර ශ්‍රී ලංකාව හැමවිටම පාකිස්තානය සමීප හා අව්‍යාජ මිත්‍රයෙක් ලෙස සලකනවා. 

අපේ ජනතාව ද පාකිස්තානය ඉතා ඉහළින් අගය කරනවා. පාකිස්තානය අත්‍යවශ්‍ය අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වූ සමීප මිතුරෙක්. මගේ ජනාධිපතිධූර කාලය තුළ දී භයානක ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ සටන් වැදීමට අපට සිදුවිය. 2009 මැයි මාසයේ දී එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට පාකිස්තානයෙන් ලද සහයෝගයට අපි නැවත නැවතත් කෘතඥ වෙනවා. 

 අද සවස පැවැති අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මම දෙරට අතර ආර්ථික, වෙළඳ, ආයෝජන, විද්‍යා හා තාක්‍ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපනය ක්ෂේත්‍රවල ඉතා සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සඳහ ගිවිසුම්වලට අත්සන් තැබුවා. පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් රාමුව තුළ ඉදිරිපත්ව ඇති අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ද අපි එකඟතා ඇති කරගත්තා."

Classified_Ad

Classified_Ad_News_Bottom