ෆයිසර් එන්නත හදනවා බලන්න යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 22, 2021

ෆයිසර් එන්නත හදනවා බලන්න යයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, එරට මිචිගන් ජනපදයේ පිහිටි ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගමට ගොස්, ‘කොවිඩ් 19’ වයිරසය මර්දනයට, ප්‍රතිශක්ති එන්නත් නිපදවන ආකාරය නිරීක්ෂණය කළේය. 

78 හැවිරිදි ජෝ බයිඩන්ට ලබා දී ඇත්තේ ද මෙම ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත වන අතර සියයට 95 කට වඩා සාර්ථක බව පැවැසෙන්නේ මෙම එන්නතය. 

‘ෆයිසර්’ සමාගම එන්නත නිපදවීම සිදු කර ඇත්තේ, ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක්වෙමිනි. ඇමෙරිකානුවන්ට පළමුවෙන් ලබා දීම ආරම්භ වූයේ මෙම ‘ෆයිසර්’ එන්නත වන අතර ලෝකයේ රටවල් රැසක මෙම එන්නත භාවිතයට ගැනෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ‘හදිසි භාවිතයට’ අවසර දී ඇත්තේ මෙම එන්නතටය. ඕස්ට්‍රේලියාව එරට වැසියන්ට ලබා දීම ආරම්භ කළේ ද ‘ෆයිසර්’ එන්නතය. යුරෝපා රටවල් වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ද මෙම ‘ෆයිසර්’ එන්නතය. 

ඊශ්‍රායල රජය එරට වැසියන්ට ලබා දී ඇත්තේ ද ‘ෆයිසර්’ එන්නත වන අතර, ඊශ්‍රායල සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ එන්නත සියයට 95.8 ක් සාර්ථක බවය. 

මිචිගන් කලමාසූ හි පිහිටි ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගමට ගිය ජනපති බයිඩන්, එන්නත් නිපදවන ආකාරය නිරීක්ෂණය කළා පමණක් නොව, එන්නත් නිපදවීමේ කටයුත්තට පැය 24 පුරා දායක වී සිටින සේවක සේවිකාවන්ට ස්තුති කිරීමට ද අමතක නොකළේය. 

‘ඇමෙරිකාව මුහුණ පා සිටින දරුණුතම ව්‍යසනයෙන් ගොඩ ඒමට දිවා රෑ නොබලා කැපවීමෙන් ඔබ කටයුතු කරනවා. මා මෙහි ආවේ ඒ බව ඇමෙරිකානුවන්ට ඒත්තු ගැන්වීමටයි’ යැයි ජනාධිපති බයිඩන් ෆයිසර් කර්මාන්ත ශාලාවට පැමිණෙමින් පැවැසුවේය. 

ජනාධිපති බයිඩන් පසුව ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා අගයමින්, ඔවුන්ට ප්‍රශංසා කරමින් ට්විටර් පණිවුඩයක් ද ප්‍රසිද්ධියට පත් කළේය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom