සිරියානු ජනපතිට බිරිඳට කොරෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

සිරියානු ජනපතිට බිරිඳට කොරෝනා

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සහ ආර්යාව අස්මා ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සිරියානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

සිරියානු ජනාධිපති ආර්යාව අස්මා පියයුරු පිළිකා රෝගියෙකි. 2019 ඇය සැත්කමකට භාජන වූවාය. 

ජනාධිපති අසාද්ගේ මෙන්ම බිරිඳ අස්මාගේ තත්ත්වය යහපත් බවත් දෙදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ ජනපති නිවසේ හුදෙකලා වී සිටින බවත්, සිරියානු ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

දශකයකට ආසන්න කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද අඩපණ වූ සිරියාව, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් තවත් අසරණ වී ඇතැයි පැවැසෙයි. 
සිරියානු සිවිල් යුද්ධයට මුල්වූයේ දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති ධුරය හොබවන අසාද්, ධුරය අත්හැරීම ප්‍රතික්ෂේප කිරීමය. 

2011 වසරේ දී, සිරියානු දේශපාලන කණ්ඩායම්, අවි අතට ගනිමින්, රජයට එරෙහිව සටන් ආරම්භ කළෙ ඒ අනුවය. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස හිස එසවූයේ ද සිරියානු සිවිල් යුද්ධයේ දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වෙමිනි. 

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙද්දී, රුසියාව සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහාය දැක්වීය. 

රුසියාවේ ගුවන් හමුදා කඳවුරක් සිරියාවේ පිහිටීම ඊට හේතුවය. ෂියා මුස්ලිම් ඉරානය ද සහාය දක්වන්නේ ජනාධිපති අසාද්ගේ ෂියා මුස්ලිම් රජයටය. 

සිරියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යමින් පවතී. සිරියානු සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, එරට ආසාදිතයන් ගණන 10,374 කි. මරණ වාර්තා වන්නේ 1,063 ක් ලෙසිනි. සිරියාවේ ජනගහනය මිලියන 18 කි. 

කෙසේ නමුත්, සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී ඇති බැවින් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගන්නා බව සිරියානු සෞඛ්‍ය අමත්‍යාංශය බිය පළ කර තිබේ.

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom