කොරෝනා ආසාදනය වළක්වන්න පෙත්තක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 24, 2021

කොරෝනා ආසාදනය වළක්වන්න පෙත්තක්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට ‘ඕරාවැක්ස්’ යන නමින් බෙහෙත් පෙත්තක් හඳුන්වාදීමට ඊශ්‍රායල ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ‘ඕරාම්ඩ්’ සූදානම් වෙයි. 

එන්නතක් මගින් සිදු කරන ප්‍රතිශක්තිය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය කිරීමට ‘ඕරාම්ඩ්’ සමාගම තීරණය කළේ පසුගිය වසරේදීය. 

‘ඕරාම්ඩ්’ යනු ඇමෙරිකන් ඊශ්‍රායල ඖෂධ නිෂ්පාදන සමාගමකි. මොවුන් මෙම ‘ඕරාවැක්ස්’ බෙහෙත් පෙත්ත නිර්මාණය කරන්නේ, ඉන්දියාවේ ‘බයෝටෙක්’ සමාගම ද හවුල් කර ගනිමිනි. 

මේ වනවිට එහි සායනික අත්හදා බැලීම් සාර්ථක වෙමින් පවතින බවත්, ලබන ජූනි මාසය වෙද්දී අවසන් අදියරේ සායනික අත්හදා බැලීම් සිදුවනු ඇති බවත් ‘ඕරාම්ඩ්’ සමාගමේ ප්‍රධානී නදේව් කිඩ්රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

‘ඇත්තටම කීවොත් මේක මුඛ එන්නතක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එන්නත කුඩා බෙහෙත් පෙත්තක් ලෙස නිර්මාණය වෙනවා. කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට බෙහෙත් පෙත්ත පානය කිරීම පමණයි කළ යුතු වන්නේ. නිවසේ සිට ඒක කළ හැකි වේවි.’ යැයි ‘ඕරාම්ඩ්’ සමාගමේ ප්‍රධානී නදේව් වැඩිදුරටත් පවසා තිබේ. 

සාමාන්‍ය නිවසේ ශීතකරණයේ පවා මෙම ‘මුඛ එන්නත’ ගබඩා කිරීමට ද හැකි වනු ඇතැයි නදේව් පෙන්වා දී තිබේ. 

මේ වනවිටත්, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ විට, එය තව කෙනකුට ආසාදනය වීම එසේත් නැතිනම් වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට බෙහෙත් පෙත්තක් නිපදවා අවසන්ය. මෙම බෙහෙත් පෙත්ත ක්‍රියා කරන්නේ පැපොල වයිරසය ආසාදනය වූ විට එය කෙනකුගෙන් තවත් කෙනකුට ව්‍යාප්තවීම වැළැක්වීමට නිපදවා ඇති ඖෂධ මෙනි. විෂ පැළෑටියක සාරයෙන් නිපදවා ඇති මෙම බෙහෙත් පෙත්ත නම් කර ඇත්තේ ‘තැප්සයිගාර්ජින්’ යන නමිනි. 

‘තැප්සයිගාර්ජින්’ බෙහෙත් පෙත්ත නිපදවා ඇත්තේ බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය. විද්‍යාඥයන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමේ අරමුණ ඇතිව, ‘තැප්සයිගාර්ජින්’ නිර්මාණය කළ බවත්, පසුව එය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සාර්ථක ප්‍රතිචාර දක්වන බව තහවුරු වූ බවත් වාර්තා වේ. 

‘කොවිඩ් 19’ ආසාදනය වූ අයකුට ‘තැප්සයිගාර්ජින් ඖෂධය ලබා දීමෙන්, වයිරසය සිරුර තුළ ගුණනය වීම එසේත් නැතිනම් පිටපත් නිර්මාණය කිරීම ඉතා වේගයෙන් අඩපණ කරයි. 

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි සටනේ දී මෙය ලොකු වාසියක් බව විද්‍යාඥයෝ පවසති. ‘තැප්සයිගාර්ජින්’ ඖෂධය වරක් ලබා දුන් පසු විනාඩි 30 ක් ඇතුළත ක්‍රියාකාරී වන බවත්, අතුරු ආබාධ කිසිවක් ඇති නොකර දින දෙකක් සිරුර තුළ රැඳී පවතින බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom