සවිඥානික හෝ අවිඥානික ගැඹුරු කල්පනාවක් පාදක කර ගෙන පෙර නොවු විරූ, නවීන අදහස්, මතවාද, ආකෘති, සංකල්ප, මතු කර ගැනීම හෝ උද්ගතව ඇති ගැටලු නවමු ආකරයෙන් විසදීම කෙරෙහි බලපවත්නා සක්‍රීය මානසික ක්‍රියාවලිය නිර්මාණාත්මක චින්තනයයි.
නිර්මාණාත්මක බව ගොඩනැගෙන්නේ දැනුම පාදකවය. දැනුම ඉගෙනුම මත ගොඩනැගේ. එය චින්තනයද හසුරුවනු ලබයි.
ඉතිහාසය වර්තමානය පමණක් නොව අනාගතයද ගොඩනංවයි. පශ්චාත් නූතන යුගය තුළ සංහතිකයාගේ නිර්මාණාත්මක චින්තනය පරාරෝපනයට පත්ව ඇත. එනම් අන් සතු වී ඇත. අන් සතු බව දැනීමම පරාජයකි.
මානවයාගේ නිර්මාණානාත්මක චින්තනයේ ඓතිහාසික පරිනාමය දෙස අවධානය යොමු කළ විට ස්වභාවික ප්‍රපංචයන් තමන්ට අවැසි ලෙස අනුවර්තනය කිරීමට මානවයා උත්සහ කළ අවධිය ලෙස සැලකිය හැකිය. එය මානවයාගේ නිර්මාණශීලිත්වයේ පරිකල්පනයේ සහ බුද්ධිමය යුගය ලෙස හැදින්වේ.
හෝමොසේපියන්ගේ භාෂාවම නිර්මාණශීලි වන අතර එය පරිකල්පනීය භාෂාවක් වේ. භාෂාව තුළින් සංඥා සහ සංකේත පාදක කරගෙන ස්වභාවධර්මයේ හෝ යථාර්ථයේ නොමැති වස්තූන් පරිකල්පනය තුළින් මැවීමේ හැකියාව අත්පත් කර ගනු ලැබුවාය. ඒ තුළින් කලාව, සාහිත්‍ය, දර්ශනවද, සංකල්පනාවන් වර්ධනය වන්නට විය.
තාක්ෂණයේ සහ විද්‍යාවේ වර්ධනයත් බහු භාණ්ඩිකරණය, පරිභෝජනවාදය, ධනවාදි නිෂ්පාදන රටාව තුළ නිර්මාණයට වඩා පරිභෝජනයට වැදගත් ස්ථානයක් ලබා දිම තුළින් පශ්චාත් නූතන යුගය තුළ නිර්මාණාත්මක චින්තනයේ අවගමනය, අවරෝපනය සිදු විය.
ධනවාදී නිෂ්පාදන රටාව තුළ නිර්මාණයට වඩා පරිභෝජනයට ප්‍රමුඛතාව හිමි වීම, වෙළද පොළ මත සියල්ල තීරණය වීම තුළින් සංහතිකයින් තුළ පෙර පැවති නිර්මාණාත්මක චින්තනය සහ පරිකල්පනය පුබුදු කරන ආකාරයෙ කොන්දේසී පරාරෝපනය වන්නට විය.
සංහතිකයා පරම සුඛවාදී ජීවන ශෛලියකට ප්‍රවිෂ්ඨ වීම තුළින් පරිභෝජනවාදී, යාන්ත්‍රික සහ අක්‍රීය ජීවන ශෛලියකට අනුගත විය.
පශ්චාත් නූතන යුගය තුළ නිර්මාණාත්මක සහ බුද්ධිමය හෝමෝසේපියන් හෝමෝටෙක්නිකස් බවට පරිවර්තනය වී තිබේ.
ඒ තුළින් වර්තමානයේ පවතින ප්‍රාථමික සහ සරල පඨිතයන් ගොඩනැගෙන්නට විය. වර්තමානයේ අධ්‍යාපනයල කලාව, සාහිත්‍යය, දර්ශනය ඇතුළු සෑම ප්‍රපංචයන් තුළම නිර්මාණකරනය හුදු අනුකරනයක්, පිටපත්කරනයක් බවට පත්ව තිබේ.
නිර්මාණාත්මක චින්තනයේ පරාරෝපනය සිදු වන්නේ නිර්මාණාත්මක චින්තනයෙන් යුක්ත සංහතිකයින් නොමැති නිසාම පමණක් නොවේ මානව නිර්මාණාත්මක ශක්තිය භාවිත කිරීමට අවශ්‍ය කෙරෙන කොන්දේසි නොමැත වීම තුළිනි.
වර්තමාන ගීත කාලව තුළද නිර්මාණශීලිත්වයක් දැකිය නොහැකි අතර බොහෝ විට ඒවා අර්ථ ශුන්‍ය වේ. වර්තමන මාධ්‍ය පඨිතයන් තුළ පවතිනුයේ ආකෘති පමණක් වන අතර එහි අන්තර්ගතය දක්නට නොලැබේ.
පශ්චාත් නූතන යුගයේ නිර්මාණ තුළ ප්‍රමිතියක් දක්නට නොලැබෙන අතර බොහෝ විට ඒවා පිටපත් වන අතර එහි ඓතිහාසික වශයෙන් නව්‍යකරණයක් ද දක්නට නොලැබේ. මෙම මානව නිර්මාණාත්මක චින්තනය පරාරෝපනය වී ඇති යුගය පශ්චාත් නිර්මාණාත්මක අවධිය ලෙස හැදින්විය හැකිය.
෴මදාරා ජයවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලය