පාකිස්තානය නිරන්තරයෙන් සහාය දක්වනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

පාකිස්තානය නිරන්තරයෙන් සහාය දක්වනවා

අවශ්‍ය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පාකිස්තාන රජයට සහ පාකිස්තාන ජනතාවට ස්තූතිය පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉකුත් දා පැවැසීය.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සෑම විටම සමීප, සුහද හා අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගෙන යන බවත් හෙතෙම කීය. පාකිස්තානයේ 81 වැනි ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ විශේෂ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අලුත්ගමගේ මහතා ඒ බව කීවේය. 

මෙම විශේෂ උත්සවය කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ඉකුත් දා (23) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ පාකිස්තාන සංචාරයේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහෝදරත්වයක් සඳහා අඩිතාලම දැමූ බව මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව කළ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා පැවැසීය.

දෙරටේ ජනතාව අතර සම්බන්ධතාවය වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ පැවැතුණු බවත්, බුද්ධාගම සහ ඉස්ලාම් දහම විසින් උගන්වන ගෝලීය සාමය හා ප්‍රේමය මගින් මෙම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වන බවත් පාකිස්තාන මහ කොමසාරිස්වරයා කීය. 

“ප්‍රකෝපකාරී සිදුවීම් තිබියදීත්, පාකිස්තානය විචක්ෂණශීලී සහිත වගකිවයුතු රටක් ලෙස ක්‍රියා කර ඇතැයි’’ කලාපයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම කීවේය. 

අර්ථාන්විත සංවාද හා සාකච්ඡාව තුළින් සියලු ද්විපාර්ශ්වික හා කලාපීය ගැටුම් සාමකාමීව විසඳීමට ගන්නා පියවරවලට පාකිස්තානය සහාය දක්වන බවත් දකුණු ආසියාවේ සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවත් ඔහු කීය. 

පාකිස්තාන රජය සිය මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලාංකික සිසුන්ට විවිධ ක්ෂේත්‍රවල ශිෂ්‍යත්ව 1000 ක් ලබා දීමට කටයුතු කරන බවද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා මෙහිදි කීවේය. 

පාකිස්තාන කොම්සාට් විශ්ව විද්‍යාලය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ලෝක මට්ටමේ උසස් තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට උත්සාහ කරන බව ද ඔහු පැවැසීය. මෙම අවස්ථාවේදී පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් කේක් ගෙඩියක් ද කපන ලදි. 

විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, පරිසර අමාත්‍ය මහින්ද අරමවීර, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය සහ දයාසිරි ජයසේකර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, රිසාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom