දෙබිඩි පිළිවෙතක් එපා - චීනය කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 27, 2021

දෙබිඩි පිළිවෙතක් එපා - චීනය කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බවත් මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීයකරණය නොකළ යුතු බවත් චීනය ප්‍රකාශ කරයි. 

සියලුම රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මවලට අනුකූලව කටයුතු කර, වෙනත් රටවල ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට ගරුකරමින් මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී, වෙනත් රටවල ස්වෛරීභාවයට හානි කර ජාත්‍යන්තරය අඩපණ කිරීමේ ක්‍රියා අත්හැරිය යුතු යැයි ඉල්ලා සිටින බව ද චීනය කියයි. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමට පෙර චීනයේ ස්ථාවරය දැනුම් දෙමින් ජීනිවා හී චීන තානාපතිවරයා එම කරුණු සඳහන් කළේය. 

චීන තානාපතිවරයා නිකුත් කළ එම ප්‍රකාශයේ මෙසේ ද දැක්වේ. 

‘‘ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, තිරසර ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, දුර්වල කණ්ඩායම් වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රීලංකා රජයේ කැපවීම පිළිබඳව චීනය අගය කරයි. එමෙන්ම ඉහත සඳහන් ක්ෂේත්‍රවල ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව චීනය ශ්‍රීලංකා රජයට සුබ පතයි. එක්සත් ජාතීන් ගේ මහා සභාවේ 60/251ක තීන්දුවට අනුව මානව හිමිකම් කවුන්සිලය විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකතාව සහ තෝරානොගැනීම යන මූලධර්ම අනුගමනය කළ යුතුය. සියලු පාර්ශව අව්‍යාජ සංවාද හා සහයෝගීතාවයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව සිදු කළ යුතුය. 

ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය නොකළ යුතු අතර මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීයකරණය නොකළ යුතුය. සියලුම රටවල් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මවලට අනුකූලව කටයුතු කර, වෙනත් රටවල ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට ගරුකරමින් මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී, වෙනත් රටවල ස්වෛරීභාවයට හානිකර ජාත්‍යන්තරය අඩපණ කිරීමේ ක්‍රියාවන් අත්හරින ලෙස අපි ඉල්ලා සිටිමු. 

 කෙටුම්පත් යෝජනාවේ අනුග්‍රාහකයෝ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයන් සහ ජයග්‍රහණ නොතකා, ශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්තද නොසලකා හරිමින්, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනයේ යහපත් තත්ත්වය අඩපණ කරති. මෙය මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම නොව මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ නියම උදාහරණයකි. 

මෙම භයානක ප්‍රවණතාවයට මානව හිමිකම් කවුන්සිලය දායක නොවිය යුතුය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මෙන්ම මහ සභාවේ 60/251 තීන්දුවේ ස්ථාපිත කර ඇති මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා චීන දූත පිරිස L.1/Rev.1 කෙටුම්පත් යෝජනාවට ඡන්ද විමසීමක් ඉල්ලා සිටින අතර එයට එරෙහිව ඡන්දය දෙනු ඇත. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් එක්ව එම යෝජනාවට විරුද්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.’’ 

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම, සංහිඳියාව/ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදාළ යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත විය. චීනය, පාකිස්තානය ඇතුළු රටවල් 11ක් යෝජනාවට විරුද්ධවත් ශ්‍රී ලංකාවට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කළේය. ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ ය.

Classified_Ad

Classified_Ad_News_Bottom