සේරා අතුරුදන් වුණු හැටි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 16, 2021

සේරා අතුරුදන් වුණු හැටි

නිතරම සුන්දර සිනහවකින් මුව සරසා ගත් සේරා එවර්රාඩ් හිත හොඳ අවංක තරුණියක වූවාය. සේරාගේ වයස අවුරුදු 33 කි. ඇගේ නිවස පිහිටියේ බ්‍රික්ස්ටන් පළාතේ ය. සේරා රැකියාව කළේ, දකුණු ලන්ඩනයේ අලෙවි විධායක නිලධාරිනියක් ලෙසය. ඇයට පෙම්වතෙක් විය. 

පසුගිය මාර්තු 3 වැනිදා, සේරා ක්ලැප්හැම් නගරයේ මිතුරියක හමුවීමට ගියාය. ක්ලැප්හැම් නගරයේ එම මිතුරියගේ නිවසේ සිට සේරාගේ බ්‍රික්ස්ටන් නිවසට පා ගමනින් ඇත්තේ විනාඩි 50 ක දුරකි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, තහංචි පනවා තිබුණු බැවින්, වෙනදා මෙන් වීදි පිරී තිබුණේ නැත. ඒත් වීදි පාලුවට ගොස් තිබුණේ ද නැත. ක්ලැප්හැම් සහ බ්‍රික්ස්ටන් අතර විශාල උද්‍යානයකි. එය මැදින් දිවෙන පදිකයන්ට සීමා වුණු කෙටි මාර්ගය රාත්‍රියට වීදි පහනින් ආලෝකමත් වෙයි. යෙහෙළියගේ නිවසින් පිටවූ සේරා, පයින්ම ඇගේ නිවසට පැමිණීමට තීරණය කළාය. 

පා ගමනින් ආ සේරා ඇගේ පෙම්වතාට ඇමතුමක් දී, ඔහු සමඟ විනාඩි 14 ක් පමණ කතා කරන්න වූවාය. 9.28 ට ඇය නිවසක් අසලින් ගමන් කරන අයුරු එම නිවසේ ඉදිරිපස දොරේ සවි කළ සීසීටීවී කැමරාවේ සටහන් වී ඇත.ඉන්පසු ඇය උද්‍යානය දෙසට හැරෙන්න ඇතැයි විශ්වාස කෙරේ. 
සේරා එවර්රාඩ් පණපිටින් දකින්න ලැබුණු අවසන් අවස්ථාව එය විය. කිසිදු හෝඩුඩාවක් නැතිව සේරා අතුරුදන් වූවාය. සේරාගෙන් පිළිතුරක් නොලැබීමෙන් කලබලයට පත්ව වූ පෙම්වතා, ඊට පසුදා එනම් මාර්තු 4 වැනිදා, පොලිසියට පැමිණිලි කළේ සේරා අතුරුදන් බවය. 

අතුරුදන් වූ සේරා සෙවීම ඇරැඹිණි. සේරා ගැන හෝඩුවාවක් සොයමින්, ජනතා සහාය පැතීමට පොලිසිය යුහුසුළු විය. 'ඔබ සේරා එවර්රාඩ් දුටුවාද?' යනුවෙන් ට්විටර් පණිවුඩ ලන්ඩන් වැසියන් අතරේ ප්‍රසිද්ධියට පත් කෙරුණි. මොකක් හෝ පුංචි හෝඩුවාවක් කාගෙන් හෝ ලැබේවි යැයි පොලිසිය විශ්වාස කළේය.

සේරා අවසන් වරට සැරසී සිටියේ, කොළ පැහැති ජැකට්ටුවකින්, කළු සහ සුදු පැහැති කලිසමකිනි. සේරා ගැන හෝඩුඩාවක් ඇති නම් 101 අංකය අමතා ඒ බව දැනුම් දෙන්නැයි පොලිසිය ලන්ඩන් වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 'ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසිය' සේරා සෙවීමේ මෙහෙයුම් ඇරැඹුවේ ඇය මොකක් හෝ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන්නට ඇතැයි යන සිතුවිල්ලෙනි.

'ස්කොට්ලන්ඩ් යාඩ්' යනුවෙන් හැඳින්වෙන්නේ ද ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසියයි. අති දක්ෂ පොලිස් නිලධාරීන්, රහස් පරීක්ෂවරුන්, අපරාධ සම්බන්ධ විශේෂඥයෝ, දකුණු ලන්ඩන්යේ නිවාස 750 කට වැඩි ප්‍රමාණයක් පීරමින් සේරා ගැන හෝඩුඩාවක් සොයන්න වූහ. 

ක්ලැප්හැම් නගර උද්‍යානයේ ද සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කරන්න වූහ. උද්‍යානයේ පොකුණු සියල්ල කිමිදුම්කරුවන්ගේ සෝදිසියට ලක් කෙරුණි. 
ගිණිකොණදිග එංගලන්තයේ, කෙන්ට් ප්‍රාන්තය දක්වා සේරා සොයමින් සෝදිසි කෙරුණි. මාර්තු 4 වැනිදා සිට 9 වැනිදා තෙක් සේරා ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට ස්කොට්ලන්ඩ් යාඩ් අති දක්ෂ පොලිස් නිලධාරීන්ට හැකියාවක් ලැබුණේ නැත. 

කොරෝනා වසංගතය මැද, දිනෙන් දින පැයෙන් පැය, සේරා සම්බන්ධයෙන් පුවත් නාළිකාවල පුවත් පළ වන්න විය. වෙබ් අඩවි පිරී ගියේ සේරාගේ ඡායාරූපවලින් සහ සේරා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ පොලිස් පරීක්ෂකවරුන්ගෙනි. 

 පසුගිය මාර්තු 9 වැනිදා, ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ දක්ෂ රහස් පරීක්ෂකවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ලැබුණු හෝඩුවාවන් අනුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවය. එම දෙදෙනාගෙන් එක් අයෙකු සේරා අතුරුදන් කළ, ඇය අපයෝජනයට ලක් කළ තිරිසනාය. 

48 හැවිරිදි ඔහු වේන් කෝසෙන්ස් නමැති ඔහු පොලිස් නිලධාරියෙකි. 

වේන් කෝසෙන්ස් වසර දෙකක් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට බ්‍රිතාන්‍ය ප්‍රභූ ආරක්ෂක සේවයට සම්බන්ධ නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටි අයෙකි. වේන් කෝසෙන්ස් ට පෙර වැරදි ද තිබුණි. ඒ කාන්තාවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙනි.

කෝසෙන්ස්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කෙන්ට් ප්‍රාන්තයේ, ඈෂ්ෆොඩ් නගරයේ අඳුරු වනපෙතකින් සේරා එවර්රාඩ්ගේ සිරුරු කැබලි හමුවිය. වේන් කෝසෙන්ස්, සේරා පැහැරගෙන ගොස් තිබුණි. සිත්පිත් නැති ඝාතකයකු වූ කෝසෙන්ස්, සේරා අමානුෂික අයුරින් ඝාතනය කර තිබුණි. 

අධිකරණ වෛද්‍ය පරීක්ෂකයන්, වනපෙතෙන් හමුවුණු සිරුරු කොටස් සේරාගේ යැයි තහවුරු කළේ ඇගේ දන්ත වාර්තා සන්සන්දනය කර බැලීමෙනි. ඒ, පසුගිය 12 වැනිදාය.
වේන් කෝසෙන්ස් අධිකරණය හමුවට...

'මේක මහා අපරාධයක්. වචනයෙන් විස්තර කරන්න බැරි විදියේ කුරිරු ඝාතනයක්. අපරාධකරු පොලිස් නිලධාරියෙක්. ජනතාව ආරක්ෂා කරන්න දිවුරා පොරොන්දු වුණු පොලිස් නිලධාරියකු කළ තිරිසන් ක්‍රියාවක්.' යැයි අපරාධයේ සුලමුල හෙළි කරමින්, ස්කොට්ලන්ඩ් යාඩ් පොලිස්පතිනිය ක්‍රෙසිඩා ඩික් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවේ හැඟීම්බරවය. 

එම මාධ්‍ය හමුව ලන්ඩන් වැසියන් කම්පනයට පත් කළේය. අත්අඩංගුවේ පසුවන කෝසෙන්ස්, මහේස්ත්‍රාත් අධිකරණය හමුවටත් ඉන්පසු අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. 

සේරාගේ ඝාතකයා පොලිස් නිලධාරියකු වීම බ්‍රිතාන්‍යය පුරා කාන්තාවන්ගේ දැඩි විරෝධයටත් පිළිකුළටත් හේතුවක් විය‍. සමාජ මාධ්‍ය හරහා ළැව් ගින්නක් සේ එම විරෝධය පැතිරෙන්න විය. 

පසුගිය 13 වැනි සෙනසුරාදා, 'කොවිඩ් 19' නොතකමින්, දහසකට අධික ලන්ඩන් වැසියන් ක්ලැප්මන් නගර මධ්‍යයට එක්රොක් වූයේ පොලිසියට විරෝධය දක්වමිනි. 

විරෝධතාවට එක් වුණු වැඩි දෙනා තරුණ තරුණියෝය. කොරෝනා තහංචි හේතුවෙන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සහ ගනිද්දී, නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය විය.

විරෝධතාවට එක් වුණු බොහෝ දෙනකුට එදින රැය පහන් කරන්න වූයේ පොලිස් කූඩුවේය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ විරෝධයට හේතුවක් විය. 

ලන්ඩන් පුරපති සිදීක් ඛාන් ද ඒ අතර සිටී. සේරාගේ ඝාතනය හෙලා දකිමින් සහ සේරාගේ ඝාතනයට විරෝධය පළ කරමින්, විරෝධතාවට එක් වුණු තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද සිදික් ඛාන් ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත් කළේය. 

'සේරා වෙනුවෙන්, විරෝධතාවට එක්වුණු පිරිස් විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා කළ ආකාරය අනුමත කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මා පොලිස්පතිනියගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා' යැයි ද සිදික් ඛාන්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ඔහුගේ සහකාරිය කැරී සිමොන්ඩ්ස් ඉටි පන්දම් දල්වමින්, සේරා එවර්රාඩ්ගේ සිහි කළහ. 

'මා පොරොන්දු වෙනවා. විශේෂයෙන් ලන්ඩන් වැසියන්ට. තරුණියන්ට. යළි කිසිම දිනෙක, සේරාට අත්වුණා වැනි කුරිරු ඉරණමක් කිසිම තරුණියකට අත්වෙන්න මා ඉඩ දෙන්නේ නැහැ. ඒක මාගේ පොරොන්දුවක්' යැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන්නේය. 

ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටෲජන් ද ඉටි පන්දම් දල්වා සේරා ට සිහි කරන්න වූවාය. වේල්ස් ප්‍රාන්තයේ මහ ඇමැති මාක් ඩ්‍රේක්ෆර්ඩ් ප්‍රාර්ථනා කළේ, යළි කිසිම දිනෙක තරුණියකට මෙවැනි කුරිරු බිහුසුණු ඉරණමක් අත්නොවේවා යන්නය. 

'ද සන්' ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom