එන්නත ගත්තා; දැන් සේරම හරිද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

එන්නත ගත්තා; දැන් සේරම හරිද?

කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අපට ලැබෙමින් පවතින්නේ, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතය. මෙම කොවිෂීල්ඩ් එන්නත, මාත්‍රා දෙකකින් සමන්විත ය. එන්නත එය ලබා ගත් පමණින්, 'දැන් සේරම හරි; කොරෝනා අවධානමක් නැහැ' යැයි සිතන්නේ නම් එය වැරදිය. 

සෞඛ්‍ය අංශ පුනපුනා පවසන්නේ, එන්නත් ලබා ගත්තත් නැතත් කොරෝනාවෙන් බේරෙන්න දිගටම නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවය. 

 කොවිඩ් 19 යන නාමයෙන් හඳුන්වන කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, 2019 දෙසැම්බරයේය. අද වනවිට, එනම් 2021 වනවිට, කොවිඩ් 19 විකෘති ප්‍රභේද කීපයක් ම කරළියට පැමිණ අවසන්ය. ඉදිරියේ දී වයිරසය තව තවත් විකෘති වනු ඇත. කොරෝනා සමඟ තවත් වසර කීපයක් ජීවත් වෙන්න අපට සිදුවේවි. 

සාමාන්‍යයෙන් වයිරසයවල ස්වභාවය මෙයයි. වයිරස විකෘති වෙයි. නැතිනම් වෙනස් වෙයි. එසේ විකෘති වෙද්දී, මුල් වයිරසය අඩපණ කිරීමට හෝ ආසාදනය වැළැක්වීමට හෝ නිපදවන එන්නත්වලින් පලක් වන්නේ නැත. 

මෙතෙක් හඳුනාගෙන ඇති කොවඩ් වයිරස නව ප්‍රභේද හතරකි. Cluster B.1.1.7,20I/501Y.V1 යනු එංගලන්තයේ කෙන්ට් පළාතෙන් හමුවුණු විකෘති ප්‍රභේදයයි. 1.351/501YV2 Cluster යනු දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් විකෘති විකෘති ප්‍රභේදයයි. Cluster P.1, (B 1.1.28 Brazil) යනු බ්‍රසීලයෙන් හඳුනාගත් විකෘතිය වන අතර Mutation N439K යන නමින් නම් කළ තවත් විකෘතියක් ද විද්‍යාඥයන්ට හමුවී තිබේ. 

මෙම විකෘති සියල්ල, සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයට වඩා ඉතා වේගයෙන් සහ ඉක්මණින් සම්ප්‍රේෂණය වන අතර, සාමාන්‍ය කොවිඩ් 19 වයිරසයට වඩා බිහිසුණුය. මරණ අනුපාතය වැඩිය. (විශේෂයෙන් 65 ට අඩු තරුණයන් අතරේ) එංගලන්තයේ කෙන්ට් පළාතෙන් හමුවුණු විකෘතිය මෙරටින් හමුවී තිබේ. ගැටලුවක් නැත. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතට එය අඩපණ කළ හැකි බව සොයා ගෙන තිබේ. 

ගැටලුවක් ඇත්තේ, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් විකෘති ප්‍රභේදය සම්බන්ධයෙනි. 

මෙම ප්‍රභේදය දැන් අප රටින් ද සොයාගෙන තිබේ. ඒ, නිරෝධායන මධ්‍යස්ථානයකිනි. එහෙයින්, ඒ ගැන අප බිය විය යුතුය. කෙන්ට් විකෘති ප්‍රභේදය වැලැක්වීමට දැනට අපට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත ප්‍රමාණවත් නමුත්, දකූණු අප්‍රිකා ප්‍රභේදය සදහා එය සාර්ථක වන්නේ නැත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත් මිලදී ගත් දකුණු අප්‍රිකාව,ඒවා ආපසු හරවා යැවීමට කටයුතු කළේ ද එය ඵල රහිත බැවිනි. දකුණු අප්‍රිකා රජය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත යොදා ගනිමිනි. 

ඒත් හිටිහැටියේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය පවා කොරෝනා රෝගීන් බවට පත්වූයේ දකුණු අප්‍රිකා සෞඛ්‍ය අංහ මවිත කරමිණි. දකුණු අප්‍රිකාවේ කොරෝනා දරුණු ලෙස ඔඩුදුවන්න වූයේ ඒ අනුවය. නව විකෘතිය පාලනය කළ නොහැකි බව අවබෝධ වීමෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත දකුණු අප්‍රිකානුවන්ට ලබා දිම සම්පුර්ණයෙන් නවතා දැමුණි. 

ඉන්පසු, ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගමේ එන්නත මිලදී ගැනීමට දකුණු අප්රිඅකාව යොමු විය. ඒ මාස කීපයකට පෙරය. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඒ වනවිට අවසන් සායනික අත්හදා බැලීම්වලට යොමු කර තිබුණා පමණි. 

අද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී අවසන්ය. ඇමෙරිකානුවන්ට ලබා දෙන තෙවැනි එන්නත වන්නේ මෙයයි. කැනඩාව ද ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ඇණවුම් කර තිබේ. 

ඊට අමතරව, බටහිර රටවල් බොහොමයක් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ගැන විශ්වාසය තබා ඇත. ලෝක සෞඛ්‍ය  සංවිධානය පවා ජොන්සන් ඇන්ඩ් ජොන්සන්එන්නත ගැන පැහැදීමෙන් සිටින බව පෙනෙයි. මෙතෙක් නිපදවා ඇති සාර්ථකම එන්නතක් ලෙස සැලකෙන්නේ මෙම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතය. 

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් විකෘතිය පමණක් නොව, සෙසු කොරෝනා විකෘති ද ආසාදනය වැළැක්වීමට මෙම එන්නතට හැකියාව ඇතැයි එන්නත නිපදවූ සුප්‍රසිද්ධ ජැන්සන් සමාගම පවසයි.

ඇමෙරිකාවේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ජැන්සන් සමාගමට අයත් වෙයි. මෙම එන්නත, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත මෙන්, ගබඩා කිරීමට පහසුවන අතර අධිශීතකරණ අවශ්‍ය වන්නේ ද නැත. අනෙක් එන්නත්වලට වඩා මෙම එන්නතට පමණක් ඇති විශේෂත්වය නම්, මෙම එන්නත එක් මාත්‍රාවක් පමණි. එය බොහෝ දෙනකුට අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

Classified_Ad

Classified_Ad_News_Bottom