අලුත් පෙමක් සොයා යන කූනිස්සෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 30, 2021

අලුත් පෙමක් සොයා යන කූනිස්සෙක්

නිවර්තන කලාපයේ විසිරී පැතිරී ඇති කඩොලාන වනාන්තර, සාගරයත් ගොඩබිමත් අතර පිහිටි ස්වභාවික බාධක පවුරකි. කඩොලාන මුල් ජලයට යටින් පැතිර පවතින්නේ මසුන් බොහොමයකට ආරක්ෂිත නිවහනක් බවට පත් වෙමිනි. ‘මාළු බබාලාට’ මෙවැනි කඩොලාන වනාන්තරවල කන්න දේ බොහොමය. ලොකු විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට කඩොලාන මුල් උපකාරී වෙයි. කරදිය මුසු මෙම කඩොලාන වනාන්තරවල මෝරුන් පමණක් නොව, කරදිය කිඹුලන් පවා බහුලව දැකිය හැකිය. කඩොලාන වනාන්තර පිරි සාගර පමණක් නොව, එම වනාන්තර නිහහන කරගත් ජීවීන් ද සැබැවින්ම විස්මිතය. 
මරුවා සැඟවිලා 
උතුරු ඕස්ට්‍රේලියාවේ කඩොලාන වනාන්තර ආශ්‍රිතව ජීවත් වන මාළු බබාලාට උදම් රළ නැගෙද්දී තවදුරටත් කඩොලාන මුල් අතරේ සැඟවී සිටිය නොහැකිය. හේතුව, උදම් රළ නැගෙද්දී සාගරය කැළැතීමය. කැළතෙන රළ සමඟ මාළු බබාලා සැඟවුණු තැන්වලින් එළියට විසිවෙයි. දැන් මාළු බබාලාට ආරක්ෂාවක් නැත. බියෙන් සහ විමසිල්ලෙන් උන් පිහිනයි. ගත වන්නේ නිමේෂයකි. මාළු බබාලා එකා දෙන්නා හිටිහැටියේ අතුරුදන් වෙයි. අසුරු සැණින් වැලි අතරින් ඉහළට ආ විලෝපිකයකු මාළු බබාලා ගොදුරු කර ගනී. වැලි අතරේ ගුලක සිට ඉහළට පැන මාළු බබාලා අල්ලා ගන්නා මේ විලෝපිකයා හරිත සාගරවල හමුවන බිහිසුණු ඝාතකයා ලෙස සැලකෙයි. මේ සත්වයා යෝධ කූනිස්සෙකි. 

පිරිමි සතා 
කූනිස්සන් කවචනයන් ගණට වැටේ. කූනිස්සන්ට පාද 10 ක් ඇත. සැඟවී සිට මාළු බබාලා ගොදුරු කර ගන්නා මේ සුවිශේෂී යෝධ කූනිස්සා හැඳින්වෙන්නේ, ‘සීබ්‍රා මැන්ටස් ෂ්රිම්ප්’ (සීබ්‍රාවකුගේ මෙන් වයිරම් ඇති වන්දකුගේ පෙනුමින් යුත් යෝධ කූනිස්සා) යන නමිනි. මාළු බබාලා ගොදුරු කරගන්නේ පිරිමි සතෙකි. දිග සෙන්ටි මීටර් 40 ක් පමණය. කූනිස්සන්ගේ පවුලේ සාමාජිකයකු වුණත්, මේ සත්වයා යෝධ ඉස්සකුටත් වඩා ප්‍රමාණයෙන් විශාලය. මේ කූනිස්සා දඩයම් කරන්නේ ඔහුට පමණක් නොව. ඔහුට සහකාරියක ද සිටී. ඇය වෙනුවෙන් ද ආහාර සෙවීම කළ යුතුය. දඩයම් කළ යුතුය. අල්ලා ගන්නා මාළු පැටවුන්, ඔහු ගුල ඇතුළට අරගෙන යයි. ගුල ගැඹුරය. මීටර් කිහිපයක් ගැඹුරුය. සාගර ජීවීන් මෙම කූනිස්සන් ගැන වසර ගණනාවක් තිස්සේ බොහොම ඉවසිල්ලෙන් අධ්‍යයනය කර ඇත. ඔවුන් පවසන්නේ එක් පිරිමි කූනිස්සකු වසර 20 ක කාලයක් එක් ගැහැනු සතකු සමඟ ජීවත් වන බවය. ඇතැම්විට, අපේ කතාවට සම්බන්ධ මේ පිරිමි සතා, උගේ මෙම සහකාරිය සමඟ ජීවත් වෙන්නේ අවුරුදු 20 ක් තිස්සේ පමණ විය හැකිය. කූනිස්සා ඇයට ආහාර ගෙනයි. කවයි. ඒ වෙනුවෙන් ඇය කරන්නේ බිත්තර දැමීමයි. පිරිමි කූනිස්සාගේ අරමුණ ද එයයි. ඔහු හැකි තරම් ඔහුගේ පරම්පරාව බෝ කිරීමට කැමැත්ත දක්වයි. 
ගෙදර වැඩ
කූනිස්සාගේ සහකාරිය කිසිම අවස්ථාවක ආහාර සොයා නොයයි. ගොදුරු අල්ලා ගන්නේ ද නැත. ඇය ගුලෙන් පිටවී යන්නේ නැත. පිරිමි කූනිස්සා වහලකු මෙන් වැඩ කරයි. ගුල පිරිසුදුව තබා ගැනීම කරන්නේ ද පිරිමි සතාය. සීබ්‍රා මැන්ටස් ෂ්රිම්ප්, සැඟවී සිට මාළු බබාලා අල්ලා ගන්න දක්ෂයෙකු බව ඇත්ත. එහෙත්, ඔහු ලොකු මාළුන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. කූනිස්සන් ගොදුරු කර ගැනීමට මාන බලන ලොකු මාළු බොහොමයකි. එහෙයින්, කූනිස්සා බොහොම සීරුවෙන් සහ විමසිල්ලෙන් දවස ගෙවයි. පතුලේ ඇති ගුලෙන හිස ඔසවා බලයි. මාළු බබකු අල්ලා ගනී. එය සහකාරියට ගෙනයයි. පහළ ගුල පිරිසුදු කරයි. කූනිස්සාගේ දෛනික රාජකාරිය මෙය වෙයි. පිරිමි සතා නොමැති නම්, ගැහැනු කූනිස්සාගේ ජීවිතය අවසන්ය. ඇය හාමතේ මියයනු ඇත. 

ආදරණීය කැඳවීම
දිනක්, ඉහළට පැමිණ, ගුලෙන් හිස දමා බලද්දී, සීබ්‍රා මැන්ටස් ෂ්රිම්ප් පිරිමි කූනිස්සාට ඉවක් දැනෙන්න ගනී. ඔහු ඔහුගේ අවධානය වැඩි වැඩියෙන් ඒ වෙත යොදවයි. අපට එය කුමක්දැයි වැටහෙන්නේ නැත. ඒත් පිරිමි කූනිස්සාට දැනෙන ඒ ‘ඉව’ උගේ ගත සිත ප්‍රමෝදමත් කරන නැවුම් හැඟුමක් විය හැකිය. එසේත් නැතිනම් කැඳවීමක් හෝ ආරාධනාවක් විය හැකිය. ඒ මොක්කදැයි විමසා බලන්න කූනිස්සා ගුලෙන් එළියට පැමිණෙයි. ඉව සොයා ඌ වැලි අතරින් ඇවිද යයි. පිරිමි කූනිස්සා උගේ ගුලෙන් මෙසේ නික්ම යන්නේ, අවුරුදු 20 ක් තිස්සේ එකට සිටි සහකාරිය ද අතහැරය. නියමිත තැනට පැමිණෙයි. එතැන ඇත්තේ ප්‍රමාණයෙන් විශාල ගුලකට ඇතුළුවන දොරටුවකි. එය තමාගේ නිවහන හා සමාන බව කූනිස්සාට වැටහෙයි. ඒත්, ගුල තරමක් විශාලය. පිරිමි කූනිස්සා දෙවරක් නොසිතා ගුලට රිංගයි. පිරිමි සතුන් අහිමි වුණු කූනිස්සා ගැහැනු සතුන් තමන් තනිවෙලා ඉන්නා බව අඟවමින් සංඥා මුදා හැරීම සිදු කරයි. ඒ අලුත් පිරිමි සතකු සොයා ගැනීම සඳහාය. 
අලුත් ආදරේ
පිරිමි කූනිස්සාට ඇසී තිබුණේ ද එවැනි ආදර කැඳවීමකි. ගුල ඇතුළට ගිය පිරිමි කූනිස්සාට දකින්න ලැබෙන්නේ එහි ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතකු සිටින බවය. ගැහැනු සතා ප්‍රමාණයෙන් විශාල නම් ඇය වැඩි වැඩියෙන් බිත්තර දැමීම සිදු කරයි. ඇය තම අලුත් සහකාරිය කර ගැනීමෙන් කූනිස්සා පිරිමි සතාට වැඩි වැඩියෙන් පිය පදවිය දැරිය හැකි වෙයි. ඒ අනුව, අවුරුදු 20 ක සහකාරිය අතහැර පිරිමි කූනිස්සා අලුත් සහකාරිය සමඟ දිවි ගෙවීම අරඹයි. ඒත් අනියම් පෙමක පැටැලීම පහසු නැත. පැරැණි සහකාරිය මෙන් නොව, මෙම නව සහකාරිය ප්‍රමාණයෙන් විශාලය. එයින් අදහස් වන්නේ පිරිමි කූනිස්සාට වෙනදාට වඩා දෙගුණයක් ආහාර සොයන්න මහන්සි වෙන්න සිදුවීමය.


ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Blue Planet II ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom