ෆ්ලොයිඩ් මැරූ පොලිස් නිලධාරියා වරදකරු වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 21, 2021

ෆ්ලොයිඩ් මැරූ පොලිස් නිලධාරියා වරදකරු වෙයි

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු වූ අතර ඔහුට වසර 40 ක සිර දඬුවම් නියම කෙරුණි. ‍

ඩෙරික් චෝවින් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය සහ එහිදී ලබා දුන් තීන්දුව ඇමෙරිකන් ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකෙයි. නඩු විභාගය සති තුනක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි. 

ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. අවසානයේ ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිසියේ හිටපු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය. ඒ අනුව, ඒ එක් එක් චෝදනාව සම්බන්ධයෙන් ප්‍රාන්ත නීති පද්ධතියට අනුව දඬුවම් නියම වුණු අතර, අවසානයේ සිර දඬුවම වසර 40 ක් තෙක් දීර්ඝ විය. 

පසුගිය 2020 මැයි 25 වැනිදා, ඩෙරික් චෝවින්, ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ ෆ්ලොයිඩ් ට මාංචු දමා බිම පෙරළා, මිනිත්තු 9 ක් සහ තත්පර 29 තිස්සේ දණහිසින් ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකරමිනි. 
ඇමෙරිකන් පොලිස් නිලධාරීන් මෙල්ල කිරීමට නොහැකි දරුණු අපරාධකරුවන් මෙල්ල කිරීම සිදු කරන්නේ මේ ආකාරයටය. එය පොලිසියේ දී ලැබෙන පුහුණුවකි. 

කෙසේ නමුත් ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගෙන බිම පෙරළා ගනිමින් ඔහුගේ බෙල්ල දණහිසින් සිරකිරීම පොලිස් අත්අඩංගුවට ගැනීමක් නොව, කළු ජාතිකයකුට එරෙහිව සුදු පොලිස් නිලධාරියකු කළ කෙණෙහිලිමක් විය. 

2020 වසරේ සිදුවුණු එම සිදුවීම, ජංගම දුරකතනයක් ආධාරයෙන් පටිගත වූ අතර, පසුව එය ඇමෙරිකන් මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ මහත් කම්පනයක් ඇති කරමිනි. ‘මට හුස්ම ගන්න බෑ’ යනුවෙන් ෆ්ලොයිඩ් කෙඳිරි ගාමින් සිටින අයුරු ද වීඩියෝවෙන් දකින්න ලැබුණි. 

නඩු විභාගය අතරතුරේ අවස්ථා ගණනාවකදී මෙම වීඩියෝව ජූරි සභාවට නැරැඹීමට සලස්වන ලදී. 

අවසානයේ සියලු චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් චෝවින් ට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත් කළ සැණින්, ඔහුගේ ඇප ඉල්ලීම ඉවත දැමුණු අතර, මාංචු දමා ඔහු අධිකරණ ශාලාවෙන් රැගෙන යනු ලැබුණි. චෝවින්ගේ නඩු තීන්දුව ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙන්නේ තව සති 8 කිනි. 

 2020 මැයි 25 වැනිදා, ඩෙරික් චෝවින් පැමිණ, 46 හැවිරිදි වියෙහි පසුවුණු ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ, ෆ්ලොයිඩ් සතුව ඇමෙරිකන් ඩොලර් 20 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබූ බැවිනි. 

පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්, ෆ්ලොයිඩ් බිම පෙරළා ඔහුගේ ගෙල සිරකිරීමේ සිදුවීම සිය ජංගම දුරකතනයෙන් රූගත කළේ එතැන සිටි යුවතියකි. 

 එම දසුන් ඇමෙරිකාව පුරාත් ලොව පුරාත් ප්‍රසිද්ධියට පත් වෙද්දී, ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් කළු ජාතිකයන් පමණක් නොව සුදු ජාතිකයන් ද වීදි බැස පොලිසියේ ‘මැරකම්’ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න පටන් ගත්තේය. 

 කොරෝනා වසංගතය මැද ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසකට එම විරෝධතා පැතිර ගියේය. ඒ වනවිට ඇමෙරිකාවේ පැවැතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයයි. 

එම 2020 වසරේ ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කොට ගනිමින්, කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ඇමෙරිකාව පුරා ළැව් ගින්නක් සේ පැතිර ගිය විරෝධතාය. 

එම විරෝධතා සහ විරෝදතා මර්දනයට පොලිසිය උපරිම බලය පාවිච්චි කිරීම හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය තව තවත් ඇමෙරිකානුවන්ගේත් ලොව පුරා සෙසු රටවල වැසියන්ගේත් අප්‍රසාදයට ලක් විය.

දින ගණනක් සති ගණනක් පැවැති එම විරෝධතා අවසන් වූයේ ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත් ඩෙරික් චෝවින් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමෙන් සහ මිනියැපොලිස් නුවර පොලිසියට නව ප්‍රතිසංස්කරණ පවා හඳුන්වාදීමෙන් පසුවය. 

කලහකාරීන් කළ පහරදීම් සහ ගිනි තැබීම් හේතුවෙන් මිනියැපොලිස් පොලිස් ස්ථානයට හානි සිදුවුණු අතර, එය පසුව වෙනත් ගොඩැගිල්ලක ස්ථාපිත කෙරුණි. 

චෝවින්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, එම තීන්දුව සම්බන්ධයෙන් කියා සිටියේ ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉටුවුණු බවය. 

නඩු තීන්දුව ප්‍රකාශයට පත් වෙද්දී, මිනියැපොලිස් නුවරට රැස්ව සිටි පිරිස ‘ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉටුවුණා යැයි කෑ කෝ ගසමින් සතුටු වන්න වූ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ඩේලිමේල්

Classified_Ad

Classified_Ad_News_Bottom