ක්‍රිස්මස් දූවේ රතු කකුළුවෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 4, 2021

ක්‍රිස්මස් දූවේ රතු කකුළුවෝ

ඇතැම් දූපත් ජීවත් වෙන්න කියාපු තැනකි. එසේ වුවත්, එවැනි දූපත්වල ජීවත්වන ජීවීන්ට පවා දිවි රැක ගැනීමේ අභියෝගවලට සහ තර්ජනවලට මුහුණ දීමට සිදුවෙයි. ඒ අතරින් ලොකුම තර්ජනය නම්, සිදුවන වෙනස්වීම්ය. ඉන්දීය සාගරයේ පිහිටි ‘ක්‍රිස්මස් දූපත’ ඊට හොඳම උදාහරණයයි. වසර මිලියන ගණනක් පුරාවට, හුදෙකලා වුණු මේ පුංචි දූපත කකුළුවන්ගේ රජදහනකි. විවිධාකාරයේ කකුළු විශේෂ රැසක් ක්‍රිස්මස් දූපත තම නිවහන කරගෙන ජීවත් වෙයි. මොවුන්ගේ ආදීමත මුතුන්මිත්තෝ, සාගරයේ සිට දූපතේ ජීවිතය සඳහා ගොඩ බිමට ආවෝ වෙති. 
සාගරයෙන් ගොඩබිමට
අද දූපතේ ලැබෙන කකුළුවන් හැමෝම සාගරයේ ජීවිතය බැහැර කර අවසන්ය. ඔවුන් ගොඩබිම ජීවිතයට හොඳින් හුරුවී පරිණාමය වී ඇත. ලොකු කුඩා, විවිධ හැඩයේ සහ විවිධ වර්ණයේ කකුළු විශේෂ රැසක් දූපතේ ජීවත් වෙයි. ඔවුහු හැමෝම බොහොම සහජීවනයෙන් වාසය කරති. ඉදහිට පොර ඇල්ලීමක් සිදු වන්නේ නම් ඒ කෑමකට හෝ ගැහැනු සතකු වෙනුවෙනි. 

රතු කකුළුවෝ
ක්‍රිස්මස් දූපතේ කකුළු රාජධානියේ එක් එක් කාර්යය සඳහා එක් එක් කකුළුවන් විශේෂ සිටී. උයන්පල්ලන්, ආරක්ෂකයන්, ආහාර රැස් කරන්නන් ඒ අතර මුල්තැනක් ගනී. දූපතේ සිටින කකුළුවන් අතරින් කැපී පෙනෙන කකුළුවන් විශේෂය රතු කකුළුවන්ය. කකුළුවකුට අඬු 10 ක් ඇති අතර, මෙම රතු කකුළුවන්ගේ අඬු ඇතුළු මුළු සිරුරම දීප්තිමත් රතු පැහැයක් ගනී. පිට මැද තද නිල් කළු පැහැතිය. මේ කකුළුවන් හැඳින්වෙන්නේ ‘ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්’ කියාය. සෑම වසරකටම වරක් මේ රතු කකුළුවන්ට සාගරය මතක් වෙයි. ඒ ඒ, අභිජනනය සඳහාය. කකුළුවෝ දූපතේ මැද වනාන්තරවල සිට මුහුදු වෙරළ තෙක් පර්යටනයේ යෙදෙති. 
මහා පෙළපාළිය
රතු කකුළුවන් පමණක් නොව, සෙසු කකුළු විශේෂ ද අභිජනනය සඳහා සාගරය බලා ඇදෙයි. කෙසේ නමුත් රතු කකුළුවන්ගේ ගහණය වැඩිය. ඔවුන් සාගරය වෙත ගමන් කරන්නේ එකා දෙන්නා බැගින් නොවෙයි මිලියන ගණනින්ය. මෙය හැඳින්වෙන්නේ ‘රතු කකුළුවන්ගේ පෙළපාළිය’ කියාය. මෙය අප මිහිමත සොබාදහමේ දකින්න ලැබෙන අසිරිමත් සිදුවීම්වලින් එකකි. සෑම වසරකම කකුළුවන්ගේ පෙළපාළියට එකතු වන කකුළුවන්ගේ ගණන මිලියන 50 ඉක්මවයි. ක්‍රිස්මස් දූපත ලෝක පූජිත වී ඇත්තේ රතු කකුළුවන්ගේ සාගරය බලා යන කකුළු පෙළපාළිය නිසාය. 

ආක්‍රමණිකයෝ 
අවාසනාවකට, ගතවුණු වසර කිහිපයේ, දූපත අභ්‍යන්තරයේ වනාන්තරවල සිට සාගරය තෙක් ඇදෙන කකුළුවන්ගේ අඩුවක් දකින්න ලැබේ. එම අඩුව මිලියන ගණනක් යැයි සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය සත්ව විද්‍යාඥයන්ගේ දැඩි කනස්සල්ලට ද හේතුවක් වී තිබේ. පෙළපාළියට එක්වන මිලියන ගණනින් රතු කකුළුවන්ට සාගරය තෙක් ගමනාන්තයට පැමිණීමට නොහැකි වී ඇති බවක් පෙනෙයි. ඊට හේතුව දුපතට පැමිණ සිටින ආක්‍රමණිකයෙකි. පිටින් දූපතට පැමිණ දූපත තමන්ගේ කරගෙන සිටින මේ ආක්‍රමණිකයා විස කුහුඹුවෙකි. 

පිස්සු කහ කුහුඹුවෝ 
මේ කුහුඹුවා කහ මිශ්‍ර තැඹිලි පැහැති කුහුඹුවෙකි. ‘යෙලෝ ක්‍රේසි ඇන්ට්’ යනුවෙන් හැඳින්වෙයි. මේ කුහුඹුවන් ක්‍රිස්මස් දූපතට පැමිණ ඇත්තේ, දූපකට සේන්දු වන නැවකිනි. නැවෙන් බේරී දූපතට පැනගත් කුහුඹුවන් අද ක්‍රිස්මස් දූපත තමන්ගේ නිවහන කරගෙන අවසන්ය. මේ කුහුඹුවන්ට දූපතේ විලෝපිකයකු නැත. වෙන කාගෙන්වත් අනතුරක් හෝ බාධකයක් හෝ නැත. එහෙයින් කුහුඹුවන්ගේ ගහනය පාලනය වීමක් වන්නේ ද නැත. රිසි පරිදි කුහුඹුවෝ දූපතේ ආධිපත්‍ය පතුරුවති. කැළයේ ඇත්තේ කහ කුහුඹුවන්ගේ සුපිරි ජනපදය. 

සතුරෙක් 
සාගරය බලා පර්යටනයේ යෙදෙන රතු කකුළුවන්, කහ කුහුඹු ජනපදයක් හරහා ගියොත් හෝ කුහුඹුවන්ගේ වැයික්කියකට ඇතුළු වුණොත් හෝ පහර කෑමට ලක් වෙයි. කකුළුවන්ට කුහුඹු ජනපද මඟ හැර යා නොහැකිය. ඊට හේතුව ජනපද දැන් කළැයේ සෑම අස්සක මුල්ලකම පිහිටීමය. කුහුඹුවන් කකුළුවන්ට පහර දෙන්නේ විස විදීමෙනි. ඒ විස ශ්‍රාවය කකුළුවන්ගේ ඇස්වල සහ මුඛයේ තැවරෙයි. කුහුඹුන්ගෙන් බේරෙන්න හෝ ආරක්ෂා වෙන්න හෝ විදියක් කකුළුවන්ට නැත. විස ඇස්වල තැවැරී අන්ධවන කකුළුවා අසරණය. කකුළුවාගේ අවසානය එයයි. 
අවාසනාව
වසර දහස් ගණනක් නිදහසේ සාමකාමීව සහජීවනයෙන් පරිණාමය වෙමින් ජීවත් වූ කකුළුවන්ට මේ කුහුඹු ආක්‍රමණිකයා ගෙනාවේ මිනිසාය. ඒ අනුව, කකුළුවන්ට අත්වන මේ අවාසනාවන්ත ඉරණමට වගකිව යුත්තා වන්නේ ද මිනිසාය. කුහුඹුන්ගෙන් එල්ල වන අභියෝගය වැනි අලුත් අභියෝග සහ තර්ජන පිටුදැකීමට හැකියාව දූපතේ මුල් පදිංචිකරුවන්ට ඇත්තේ නැත. එහිදී ඔවුන් අසරණය. මරා දමන ලද කකුළුවන් අවසානයේ දී කහ කුහුඹුවන්ගේ ආහාරය බවට ද පත්වෙයි. පසුගිය කාලවකවානුවේ, ජීවීහු බොහෝ දෙනෙක් සඳහටම මිහිමතින් තුරන් වූහ. එසේ තුරන් වුණු ජීවීන් අතරින් සියයට 80 කට, එම අවාසනාවන්ත ඉරණම අත්වූයේ පිටස්තර ආක්‍රමණිකයන්ගේ බලපෑම් නිසාය.


ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Planet Earth II ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom