කියුබා එන්නත් සාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 30, 2021

කියුබා එන්නත් සාර්ථකයි

ඇමෙරිකාවේ ආර්ථික සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් සියයට සියයක් ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවා ඇති 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙක සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය. ඒ අනුව, දේශීයව සාර්ථක කොරෝනා මර්දන එන්නත් දෙකක් නිපදවීමට සමත් වූ එකම ලතින් ඇමෙරිකා රාජ්‍යය ලෙස සැලකෙන්නේ මිලියන 11 ක ජනගහනයක් වෙසෙන කියුබාවය. 

කියුබානු විද්‍යාඥයන් නිපදවා ඇති සාර්ථක එන්නත් දෙක වන්නේ 'සොබරනා 2' සහ 'ඇබ්ඩාලා' ය. 'සොබරනා' යන්නෙහි අර්ථය 'ස්වෛරීත්වය' යන්නය. 'ඇබ්ඩාලා' යනු කියුබානු විල්පයේ වීරයකු මෙන්ම කවියකු ද වන හෝසේ මර්තී ලියූ කවියක නමය. 

'සොබරනා 2' එන්නත නිපදවා ඇත්තේ 'ෆින්ලේ' ආයතනයයි. 'ඇබ්ඩාලා' එන්නතේ නිෂ්පාදකයා වන්නේ ජාන ඉන්ජිනේරු සහ ජෛව තාක්ෂණ ආයතනය යි. මෙම ආයතන දෙකම කියුබානු රජය යටතේ පවතී. 

'සොබරනා 2' සහ 'ඇබ්ඩාලා' එන්නත්වල අවසන් සායනික පර්යේෂණ අවසන් වී ඇත්තේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමිනි. ඉදිරි දින කීපය ඇතුළත කියුබානුවන් 44,0000 කට 'සොබරනා 2' එන්නතත් ද, 48,000 කට 'ඇබ්ඩාලා' එන්නතත් ද ලබා දීමට නියමිතය. 

ඒ අතරතුරේ, ඉදිරිපෙළ සෙෳඛ්‍ය සේවකයන් 1,50,000 කට ද මෙම එන්නත් දෙකෙන් එකක් ලබා දීමට කියුබන් රජය බලාපොරොත්තු වෙයි. කෙසේ හෝ මෙම වසර අවසන් වෙද්දී, රටේ එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබන සියලු දෙනාට එන්නත් ලබා දී අවසන් කරන බව ද කියුබානු රජය නිකුත් කළ නිවේදකයක සඳහන් වෙයි.

කියුබන් රජය කිසිදු රටකින් එන්නත් මිලදී ගැනීමට පියවර ගෙන නැත. ඊට එක් හේතුවක් වන්නේ ඇමෙරිකාව කියුබාවට පනවා ඇති වෙළෙඳ සම්බාධකය. මෙම සම්බාධක පැනැවීම කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයයි‍. 

ඊට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' එන්නත්කරණ වැඩසටහනට ද කියුබාව ඇතුළත් නොවෙයි. එහෙයින්, කියුබාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිසිදු එන්නතක් ලැබෙන්නේ ද නැත. 

මේ වනවිට කොරෝනා ආසාදිතයන් අතින් කියුබාව පසුවන්නේ 90 වැනි ස්ථානයේය. 89 වැනි ස්ථානයේ ඇත්තේ අප ශ්‍රී ලංකාවය. කියුබාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 105,661 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 632 ක් ලෙසය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom