ඉන්දියාවේ කොරෝනා ඔඩුදුවයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 9, 2021

ඉන්දියාවේ කොරෝනා ඔඩුදුවයි

ඉන්දියාවෙන් දිනපතා කොවිඩ් 19 ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වීමත් සමග වයිරස ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රාන්ත මහ ඇමැතිවරුන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ වීඩියෝ සූම් තාක්ෂණය ඔස්සේය. 

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය යුදමය තත්ත්වයක් සේ සලකා, දැඩි පියවර අනුගමනය කරමින් ජනතාව ආරක්ෂා කර ගැනීමටත්, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමටත් පියවර ගත යුතු බව අග්‍රාමාතය මෝදි මෙහිදී අවධාරණය කළේය. 

පසුගිය සැප්තැම්බරයෙන් පසු, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හිටිහැටියේ අඩුවිය. දෛනික ආසාදිතයන් 90,000 සිට 10,000 තෙක් අඩුවිය. එසේ වුවත් සෞඛ්‍ය ආසාදියන් සෙවීමට පී.සී.ආර්. සහ ඇන්ටජන් පරික්ෂණ අඩු නොකර දිගටම කරගෙන ගියේය. 

හිටිහැටියේ ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ පවා මවිතය පළ කරන්න විය. කෙසේ නමුත් පසුගිය මාර්තු මාසය වෙද්දී දෛනික ආසාදිතයන් යළි වැඩිවීමට පටන් ගත් අතර, පසුගිය අප්‍රේල් 6 වැනිදා ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන පළමු වරට ලක්ෂය පසු කළේය. 

ආසාදිතයන් මෙසේ හිටිහැටියේ ඉහළ ගියේ, ජනතාව සෞඛ්‍ය පුරුදු ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසාත් ඉන්දියාවේ පැතිරීමට පටන්ගෙන ඇති විකෘති වයිරස ප්‍රබේද නිසාත් යැයි සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. මුහුණු ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම, දෑත් සේදීම ආදී සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යා යුතු යැයි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර තිබේ. 

‘කොවිඩ් 19’ වසංගතය මැද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත කීපයක මැතිවරණ පවා පැවැත්වෙයි. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනැවීම කළ යුතු බවත්, එසේ පනවන ඇදිරි නීතිය ‘කොරෝනා ඇදිරිය’ ලෙස නම් කළ යුතු බවත් සූම් තාක්ෂණය ඔස්සේ මහ ඇමැතිවරුන් අමතමින් අගමැති මෝදි පැවැසුවේය. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් සොයා ගැනීම ද අත්‍යාවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය. 

ආසාදිතයන් සොයා සිදු කරන පරීක්ෂණ ක්‍රමවත්ව සහ නිවැරදිව කරන ලෙසත්, ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවෙද්දී, ප්‍රදේශ, පළාත් සහ නගර මට්ටමින් තහංචි පනවා, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට උත්සහ ගත යුතු යැයි ද අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය. වයිරස ආසාදිතයන් වැඩිවෙද්දී, ඉන්දීය රජය, එරට නිෂ්පාදනය කරන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය තාවකාලිකව නැවැත්වීය. 

ඒ අනුව, ඉන්දියාවේ පූනේ නුවර නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත අපනයනය සිදු නොවන අතර එම එන්නත ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වය දී ලබා දෙයි. ඒ පසුගිය පළමු වැනිදා සිටය. ඊට අමතරව, ‘කොවැක්සින්’ එන්නත ද ඉන්දියානුවන්ට ලැබෙයි. 

පළමු වැනිදා සිට එන්නත් ලබා දීම ආරම්භ වුයේ අවුරුදු 45 ට වැඩි සියලුම ඉන්දියානුවන් සදහාය. ලබන 11 වැනිදා සිට 14 දක්වා ‘එන්නත් සැණකෙලිය’ යන නමින් විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමටත්, හැකි සෑම දෙනකුටම එන්නත් ලබා දීමට පියවර ගැනීමටත් අග්‍රාමාත්‍ය මෝදි සහ ප්‍රාන්ත ඇමැතිවරු තීරණයකට එළැඹුණාහ. 

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය පසු කරද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෛද්‍ය උපදෙස් මත, ඔහුට ලබා දී තිබුණු ‘කෝවැක්සින්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ද ලබා ගත්තේය.

‘කෝවැක්සින්’ යනු සියයට සියයක් ඉන්දීය තාක්ෂණය භාවිතයට ගනිමින්, ඉන්දීය විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නතය. අග්‍රාමාත්‍ය මෝදි මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තේ මාර්තු 1 වැනිදාය.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom