බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 24, 2021

බෙලරූස් ජනපති ගුවන් යානයක් පැහැර ගනී

අයර්ලන්තයේ 'රයන් එයාර්' ගුවන් සමාගමට අයත්, අංක එෆ්.ආර්. 4978 මගී යානය, පසුගිය 23 වැනිදා ග්‍රීසියේ ඇතන්ස් නුවරින් ගුවන්ගත වූයේ ලිතුවේනියාවේ විල්නියස් නුවර බලා යෑමටය. ගුවන් මඟ වැටී තිබුණේ බෙලරුසියාවට ඉහළිනි. 

මගී යානය බෙලරුසියාවට ඇතුළු වී, ලිතුවේනියා බෙලරුසියා දේශසීමාව පසු කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී, බෙලරුසියා ගුවන් හමුදාවට අයත් මිග් 29 ප්‍රහාරක ජෙට් යානයක් මගී ගුවන් යානය හරස් කළේය. ඒ සමඟම බෙලරුසියා ගුවන් පාලන අධිකාරියෙන්, රයන් එයාර් යානයේ නියමුවන්ට පණිවුඩවක් ලැබුණි. 

'යානයේ බෝම්බයක්. ඉක්මණින් මින්ස්ක් නුවර ගුවන්තොටුපොළ ගොඩබාන්න.' එය පැහැදිලිවම නියෝගයක් විය. ප්‍රහාරක ජෙට් යානයක් යොදා ගනිමින් කළ තර්ජනයක් විය.

යානයේ මගීන් අතරේ 26 හැවිරිදි බෙලරූස් ජාතික මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෙවිච් අසුන් ගෙන සිටියේය. ප්‍රහාරක ජෙට් යානා මගී යානය වට කරද්දීත්, නියමුවන් මගී යානය බෙලරුසියාවේ මින්ස්ක් නුවර ගුවන්තොටුපොළ වෙත පියාසර කරද්දීත්, තමාගේ ඉරණම කුමක්දැයි ප්‍රොටසෙවිච් හොඳින් අවබෝධ විය. 

බෙලරූස් රජය සැරසෙන්නේ තමන් අත්අඩංගුවට ගැනීමට බව ප්‍රොටසෙවිච් දැන සිටියේය. 
බෝම්බයක් ඇතැයි බොරු අනතුරු ඇඟවීමක් කරමින්, තම රටට ඉහළින් පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානය බලෙන් ගොඩබැසීමට සලස්වා, එහි සිටි මාධ්‍යවේදී රෝමාන් ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගැනීමට බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ කටයුතු කළේ මෙලෙසය. 

ජාත්‍යන්තර නීති උල්ලංගනය කරමින්, බෙලරූස් ජනාධිපතිවරයා මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම යුරෝපා සංගමයේත්, ඇමෙරිකාවේත් දැඩි දෝෂදර්ශනයට හේතුවක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම නේටෝ සංවිධානය නිවේදන නිකුත් කරමින් බෙලරූස් රාජ්‍යයට අනතුරු ඇඟවීය. දොස් නැගීය. 

වර්තමානයේ වෙනම රටක් ලෙස වෙන්වූ බෙලරූසය (ධවල රුසියාව) අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසකි. වර්තමානයේ, රුසියාවේ සහාය බෙලරූසයට හිමිවන අතර, 1994 වසරේ සිට බලයේ රැදී සිටින 66 හැවිරිදි බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. බටහිර රටවල් ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝ හඳුන්වන්නේ 'පුටින්ගේ රූකඩය' යන නමිනි. 

ග්‍රීසියේ ඇතන්ස් නුවර සිට බෙලරුසියාවට ඉහළින් ලිතුවේනියාව බලා පියාසර කරමින් තිබුණු මගී ගුවන් යානය බලෙන් තම රටට ගොඩබෑමට සලස්වා, අත්අඩංගුවට ගත් බෙලරූස් මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෙවිච් සමාජ ක්‍රියාකාරියකු ලෙස ද ප්‍රකටය. 
ප්‍රොටසෙවිච් පැමිණෙන තුරු බලා සිටි පිරිස
ඔහු ලිතුවේනියාට පැමිණෙන බව දැනගත් ලිතුවේනියාවේ සිටින බෙලරූස් විපක්ෂ ක්‍රියාකාරීහු බොහොමයක් ලිතුවේනියාවේ විල්නියස් නුවර ගුවන්තොටුපොළට රැස්ව සිටියත්, ඔවුන්ට ප්‍රොටසෙවිච් දකින්න ලැබුණේ නැත. 

 ප්‍රොටසෙවිච් පෝලන්තයේ 'නෙක්ස්ටා' නමැති අන්තර්ජාල මාධ්‍ය ආයතනයට සම්බන්ධ බෙලරූස් මාධ්‍යවේදියාය. ඔහු එම මාධ්‍ය ආයතනයේ පුවත් සංස්කාරකවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

'නෙක්ස්ටා' පුවත් සේවය ඔවුන්ගේ පුවත් ජනතාව අතරට ගෙනයන්නේ 'ටෙලිග්‍රෑම්' නමැති 'වොට්ස්අප්' වැනි පණිවුඩ හුවමාරු සේවය උපයෝගී කර ගනිමිනි. එවිට, එය වාරණය කිරීමට බලධාරීන්ට හැකියාවක් නොලැබේ. 

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැකන්ඩර් ලුකෂෙන්කෝගේ දූෂණ වංචා බෙලරූස් ජනතාවට අනාවරණය කළේත්, ලොවට අනාවරණය කළේත් ප්‍රොටසෙවිච්ය. ජනාධිපති ලුකෂෙන්කෝගේ උදහසට ලක් වූ ප්‍රොටසෙවිච්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී තිබුණි. 

2019 දී බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට ප්‍රොටසෙවිච් සහාය දැක්වීමත් සමඟ ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණු බව පැවැසෙයි. ඒ අනුව ප්‍රොටසෙවිච් ග්‍රීසියේ ඇතන්ස් නුවරට පලා ගියේය. ප්‍රොටසෙවිච් ඉන්පසු 'නෙක්ස්ටා' පුවත් සේවයෙන් ඉවත් වී, 'බෙලමෝවා' අන්තර් ජාල පුවත් සේවයට එක් විය. 

2020 වසරේ දී බෙලරූස් ජනාධිපතිවරණය පැවැත්වුණ අතර, බටහිර රටවල සහාය හිමිවූයේ විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ ස්වෙත්ලානා ටිකොනොව්ස්කාටය. ස්වෙත්ලානා ට ජනවරමක් හිමිවේවි යැයි විශ්වාස කළත්, එය එසේ නොවුණු අතර, ලුකෂෙන්කෝ ට යළි බලය හිමිවිය. 

ස්වෙත්ලානා ප්‍රමුඛ විපක්ෂයට හිමිවී තිබුණේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයක් පමණි. එය පැහැදිලිවම හොර ඡන්ද දැමීමක් යැයි බෙලරූස් විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගන්න වූ අතර, යුරෝපා රටවලත්, ඇමෙරිකාවේත් සහාය ඔවුන්ට හිමිවිය. 
ඡන්ද අක්‍රමිකතා සිදුවුණැයි සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රොටසෙවිච් කටයුතු කළ අතර, ජනපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ලුකෂෙන්කෝ ට එරෙහිව දැවැන්ත විරෝධතා ආරම්භ වීමට එය හේතුවක් විය. 

මාස ගණනක් තිස්සේ පැවැති විරෝධතාවලදී, විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. බටහිර සහාය ලබන විපක්ෂ නායිකා ස්වෙත්ලානා ටිකොනොව්ස්කාට බෙලරූසයේ උතුරු දෙසින් පිහිටි ලිතුවේනියාවට පලා ගියාය. ඒ, ලිතුවේනියා රජයේ සහාය සහ ආරක්ෂාව ඇයට හිමිවීමෙනි. 

බටහිර සහාය මත රට අස්ථාවර කරමින්, ජනතාව උසි ගන්වනවා යැයි ප්‍රොටසෙවිච් ට චෝදනා එල්ල විය.

මින්ස්ක් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන් ගමන් පාලන අධිකාරියෙන් යානයට පණිවුඩයක් ලැබෙන්න වූයේ යානයේ බෝම්බයක් ඇති බවත්, එය ආරක්ෂාවට තර්ජනයක් බවත්, වහාම යානය හරවාගෙන මින්ස්ක් නුවර ගුවන්තොටුපොළට යා යුතු බවත්ය. 

යානය ගොඩබැස්වීම කරන්නැයි බෙලරූස් ගුවන් හමුදාවට අණ ලැබී තිබුණේ ජනපති ලුකෂෙන්කෝගෙන් යැයි අනාවරණය වූයේ පසුවය. 

යානය මින්ස්ක් නුවර බලා හරවා යද්දී, මගීන් අතරේ සිටි ප්‍රොටසෙවිච් තම ඉරණම වටහා ගත් බවත්, යානය මින්ස්ක් ගුවන්තොටුපොළට ගොඩබාන්නේ තමන් නිසා බවත් සෙසු මගීන්ට සහ කාර්ය මණ්ඩලයට පැවැසූ බව රොයිටර් පුවත් වාර්තා කර තිබේ. යානයේ සිටි මගීන් කීප දෙනකු සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගෙන් අදහස් විමසා බැලීමට රොයිටර් පුවත් සේවය පසුව කටයුතු කර තිබුණි. 

යානය ගොඩබෑ සැණින් හමුදා නිලධාරීහු නිල සුනඛයන් ද සමඟ පැමිණ යානයේ සෙසු මගීන් සෝදිසි කර ඔවුන් පිටතට ගෙන්වා ගනිමින්, ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගත්හ. එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට 15 වසරක සිරදඩුවමක් හිමිවනු ඇතැයි ද පැවැසෙයි. 
ප්‍රොටසෙවිච් ගුවන් යානයේ මගීන් අතර සිටිද්දී ...
බොරු අනතුරු ඇඟවීමක් කර, බලහත්කාරයෙන්, යානය ගොඩබැසීමට සලස්වා ප්‍රොටසෙවිච් අත්අඩංගුවට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, ජය ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක් බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ. 

මින්ස්ක් ගුවන්තොටුපොළට ගොඩබෑ යානයට ආපසු ලිතුවේනියා බලා යෑමට අවසර ලැබුණු අතර, යානය නියමිත වේලාවට වඩා පැය 6 ක් ප්‍රමාද වී ගමනාන්තය වූ විල්නියස් බලා පැමිණියේය.

රයන් එයාර් යානයේ ගුවන් නියමුවන් පසුව පැවැසුවේ, තමන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි බවත්, යානයේ බෝම්බයක් ඇති බව බෙලරූස් ගුවන් පාලන අධිකාරිය පැවැසූ සැණින්, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ලබා දුන් උපදෙස් පිළිපැදි බවය. එසේ නොකළා නම්, ප්‍රහාරක ජෙට් යානය පහර දීමට පවා ඉඩ තිබුණු බව නියමුවෝ කියති. 

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom