ඇසක වේදනාවකින් පෙළුණු බටහිර දිල්ලියේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයකු, ශ්‍රී ගංගා රාම් රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 2020 නොවැම්බරයේ 20 වැනිදාය. උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය මනීෂ් මුන්ජාල් හරහා, රෝගියා අක්ෂි ශල්‍ය වෛද්‍ය සහ්ලූ බගේජා හමුවට යොමු කර තිබුණි.
ඉදිමුණු ඇස පරීක්ෂා කරද්දී, වෛද්‍ය බගේජා මවිතයට පත් විය. ඒ, තරුණයා දිලීර ආසාදන තත්ත්වකට ලක් වී සිටීමය. මෙම දිලීර ආසාදන තත්ත්වය අසාමාන්‍ය දෙයක් නොවීය. ඒත් කලාතුරකින් දැකිය හැකි තත්ත්වයකි. වෛද්‍යවරයා පුදුම වූයේ දින දෙකක් ඇතුළත ඔහු ඉදිරියට ආ දෙවැනි රෝගියා මෙම තරුණයා වූ බැවිනි.
ඊට දිනකට පෙර, ඇසට කාචයක් දැමීමට, වෛද්‍යවරයා හමුවට ආ කාන්තාවකට ද මෙම දිලීරය ආසාදනය වී තිබුණි. ආසාදන තත්ත්වය ඔඩුදුවා තිබුණු බැවින් කාචය දැමීම කළ නොහැකි වුණු අතර, ඇස ඉවත් කර කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයා කටයුතු කළේය. එම කාන්තාවගේත්, 32 හැවිරිදි තරුණයාගේත් සමානකමක් විය. ඒ, ඔවුන් දෙදෙනම, 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් වීමය.
අද ඉන්දියාවෙන් වාර්තා වන ‘කළු දිලීරය’ ආසාදන තත්ත්වය මෙයයි. මෙම දිලීරය මියුකෝමයිකෝසිස් ය.
දෙවැනි කොරෝනා රැල්ලෙන් දරුණු ලෙස බැට කන ඉන්දියාවේ, කොරෝනා සුවවූවන් අතරේත්, කොරෝනා ආසාදිතයන් අතරේත් මෙම දිලීර ආසාදනය දැකිය හැකිවෙයි. ‘කළු දිලීරය’ හේතුවෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ වසංගත තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ, දිලීරය ආසාදනය වූ දහසකට වැඩි පිරිසක් හමුවීමත්, එයින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් නිසාය.
කොරෝනාවෙන් බැටකන ඉන්දියානුවන් කබලෙන් ලිපට ඇද දැමීමට කළු දිලීරය සමත් විය.
‘කළු දිලීර’ ය මුල්කොට ගනිමින්, වසංගත තත්ත්වයක් පළමුවෙන්ම ප්‍රකාශයට පත් කළේ ඉන්දියා රාජස්ථාන ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ය. ඒ පසුගිය මැයි 19 වැනිදාය.
ඉන්පසු හර්යානා, තමිල්නාඩු, තෙලංගානා, ගුජරාටය සහ බිහාරයෙන් ද කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් කළු දිලීරයේ ගොදුරක් විය.
‘දිලීර කියන්නේ පුස්. කළු දිලීරය නමැති රෝගී තත්ත්වයට හේතු වන්නේ මියුකෝමයිකෝසිස් පුස් වර්ගයයි. මේවා අප අවට වටපිටාවේ තියෙනවා. අවට පරිසරයේ ඇති මේ දිලීර බීජාණු සාමාන්‍යයෙන් සයිනස් සහ පෙනහළුවලට බලපෑම් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපිරිසුදු ජීවන රටාව නිසා මෙය සිදුවන්නේ. කෙසේ නමුත්, කොවිඩ් 19 රෝගය හේතුවෙන් කළු දිලීරයේ ව්‍යාප්තියේ ඉතා වැඩියි. අඩු අය ඉක්මණින් මේ දිලීරයට ගොදුරු වෙනවා. කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන්ගේ ප්‍රතිශක්තිය අඩුවී යන අවස්ථා තිබෙනවා. එපමණක් නොවෙයි, කළු දිලීරයට වැඩි අවදානමක් ඇත්තේ දියවැඩියාව, වකුගඩු ආබාධ, පිළිකා සහ ආමාශ ආශ්‍රිත රෝග ඇති පුද්ගලයන් යැයි මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.’ යැයි නවදිල්ලියේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයෙකු වන අමරින්දර් සිං මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘කළු දිලීරය ආසාදිතයකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ නැහැ. අපිරිසිදු අයුරින් මුහුණු ආවරණ පලඳින්නේ නම් හෝ එකම මුහුණු ආවරණය පිරිසුදු නොකර පලදින්නේ නම් හෝ කළු දිලීරය සිරුරට ඇතුළු වෙන්න පුළුවන්.’ යැයි දිල්ලි වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටී.
කළු දිලීරය ආසාදනය වූ සැණින් එය හඳුනාගතහොත් ‘ඇම්ෆොටෙරිසින් බී’ නමැති දිලීර නාශක ඖෂධ භාවිත කරමින් එය මර්දනය කර හැකිය. ආසාදනය ඔඩුදුවා ඇතිනම්, මොළයට හානි වීමක් සිදුවිය හැකිය. එය මරණයට හේතුවක් වෙයි. ආසාදනය ඔඩුදුවා ඇති අවස්ථාවලදී ඇස් පමණක් නොව නාසය පවා සැත්කම් මගින් ඉවත් කර රෝගීන් බේරා ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
එසේ සැත්කම් කළත් රෝගීන් බේරා ගැනීමට නොහැකි වන අවස්ථා වාර්තා වේ.
දිලීරයට එරෙහිව ලබා දෙන ‘ඇම්ෆොටෙරිසින් බී’ දිලීර නාශක හිඟයක් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි. මේ හේතුව නිසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය තවත් ජනතා අප්‍රසාදයට පත් වී ඇත.
මේ අතර, ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් සොයා ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පසුගිය 22 වැනිදා ආනාවරණය කළේය. දීලිරය හරහා ද කොරෝනා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බව වෛද්‍ය කොළඹගේ මහතා බිය පළ කළේය.
“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීම හා මරණ සංඛ්‍යාව වැඩිවීම සිදුවෙන්න පුළුවන්. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලුවක් සහගතයි.” යැයි වෛද්‍ය කොළඹගේ මහතා 22 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.