චීන රොබෝ යානය අඟහරු මතට ගොඩබසී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 15, 2021

චීන රොබෝ යානය අඟහරු මතට ගොඩබසී

චීනය යැවූ රෝබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑම අද (15) සිදුවිය. චීනය අඟහරු මතුපිටට යානයන් පතිත කළ පළමු අවස්ථාව මෙයයි. 

‘ෂුරොංග්’ යන නමින් නම් කළ මෙම යානය, රොබෝ රෝවර් යානයකි. රෝවර් යානා යනු රෝදවලින් සමන්විත ගවේෂණ යානා වන අතර, ඒවා එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු සිදු කරයි. ‘ෂුරොංග්’ යන වදනේ අර්ථය ‘සත්‍යය සොයා ගුවනේ කරන ගවේෂණය’ යන්නය. එපමණක් නොව, චීන මිත්‍යා කතාවලට අනුව, ‘ෂුරොංග්’ යනු ගින්නට අධිපති දෙවියාය. 

‘ෂුරොංග්’ රෝවර් යානය සම්බන්ධ කර තිබුණේ ‘ටියැංවෙන් 1’ නමැති යානයටය. චීනය ඔවුන්ගේම රොකට්ටුවක් ආධාරයෙන්, ‘වෙංචෙංග්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ‘ටියැංවෙන් 1’ අභ්‍යවකාශයට තල්ලු කර යැවුණේ 2020 ජූලි 23 වැනිදාය. 

රොකට්ටුවෙන් වෙන්වුණු ‘ටියැංවෙන් 1’යානය පසුගිය පෙබරවාරි 10 වැනිදා අඟහරුගේ කක්ෂයට පිවිසියේය. එය එදා සිට මේ දක්වා අඟහරු කක්ෂයේ රැඳී සිටියේ සුදුසු වෙලාවක් බලා ‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතු පිටට යැවීමටය. එය සිදුවූයේ අද (15) දිනයේය. 

‘ටියැංවෙන් 1’යානය අඟහරු කක්ෂයේ චන්ද්‍රිකාවක් ලෙස රැඳී සිටිනු ඇත. අඟහරු මතුපිට සිට ‘ෂුරොංග්’ රෝවර් යානය චීන විද්‍යාඥයන්ට යවන දත්ත සහ ඡායාරූප සංඥා පෘථිවියට යැවෙන්නේ, ‘ටියැංවෙන් 1’යානය හරහාය. ‘ෂුරොංග්’ රෝවර් යානය ගොඩබෑම සිදුවූයේ ‘උටෝපියා ප්ලැනිටියා’ යන නමින් විද්‍යාඥයන් නම් කර ඇති අඟහරුගේ ද්‍රෝණියටය. ‘උටෝපියා ප්ලැනිටියා’ කිලෝ මීටර් 3,000 ක් පළල ග්‍රහකයක් ගැටීමෙන් නිර්මාණය වූ ද්‍රෝණියකි. එය නිර්මාණය වී ඇත්තේ අඟහරු ආරම්භයේදීය.

මෙම ද්‍රෝණියේ රතු පස් තට්ටුවට යටින් අයිස් තට්ටුවක් ඇති බවට විශ්වාස කෙරේ. ද්‍රෝණියේ පස් සහ එම අයිස් සාම්පල පරීක්ෂා කරමින්, අතීතයේ අඟහරු මතුපිට ජීවීන් සිටියේ ද යන්න තහවුරු කර ගැනීම ‘ෂුරොංග්’ රෝවර් යානයේ අරමුණ බව චීන විද්‍යාඥයෝ පවසති. 

‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතට ගොඩබෑම ඉතා සංකීර්ණ මෙන්ම අසීරු මෙහෙයුමක් විය. ඒ, පෘථිවියේ සිට යැවෙන පණිවුඩ සහ උපදෙස්, යානයට ලැබෙන්නේ මිනිත්තු 7 ක් ගතවීමෙන් පසුව වීමය. 1976 වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු ගවේෂණයට යැවූ ‘වයිකිං 2’ රොබෝ යානය පතිත කළේ ද ‘උටෝපියා ප්ලැනිටියා’ ද්‍රෝණියටය.

‘ෂුරොංග්’ රෝවර් යානයට අති නවීන කැමරා පද්ධතියක් අයත් වෙයි. ඊට අමතරව, සංවේදක රැසකින් ද රෝවර් යානය සමන්විත වෙයි. අඟහරු මත ඛනිජ ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකි ලෙස මෙම කැමරා පද්ධතිය සකසා තිබේ. කැමරා පද්ධතියට අයත් තවත් කැමරා දෙකකින්, අඟහරු මතුපිට ඡායාරූප ගැනීම සිදු කෙරේ. 

‘ෂුරොංග්’ රෝවර් යානය අවම වශයෙන් දින 90 ක කාලයක් අඟහරු මතුපිට ගවේෂණ කටයුතුවල නියැලෙනු ඇතැයි පැවැසෙයි. සූර්ය බලයෙන් එය ක්‍රියාත්මක වන අතර, රෝද හයකින් සමන්විතය. අඟහරු දිනයක් හැඳින්වෙන්නේ Sol යනුවෙනි. අඟහරුගේ දිනක් පෘථිවි දින අනුව, පැය 24 යි මිනිත්තු 39 කි.
‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතට පතිත කිරීම චීනය ලැබූ අති විශිෂ්ට ජයග්‍රහනයක් යැයි චීන ජනාධිපති ෂී ජි්න්පින් පවසා තිබේ.

පසුගිය 2020 වසරේ ජූලි මාසයේ අඟහරු ග්‍රහයා, පෘථිවියට ළංව පිහිටියේය. ඒ අනුව, චීන අභ්‍යවකාශ ආයතනය පමණක් නොව, ඇමෙරිකාවේ නාසා ආයතනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ ආයතනයත් පෙර සැලැසුම්වලට අනුව යමින්, ගවේෂණ යානා අඟහරු වෙත යැවීම සිදු කළේය.

එසේ යැවුණු රොබෝ යානා තුන ඉකුත් 2021 පෙබරවරි මාසයේ අඟහරු වෙත පැමිණියේය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන හරහා අඟහරු වෙත යැවුවේ ‘අමල්’ නමැති රොබෝ යානයයි. ‘අමල්’ කක්ෂීය ගවේෂණ යානයකි. ‘අමල්’ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පෙබරවාරි 9 වැනිදාය. ‘අමල්’ යානය මේ වනවිට අඟහරුගේ කක්ෂයේ රැඳී සිටින්නේ චන්ද්‍රිකාවක් ලෙසය. යානය අඟහරුගේ වායුගෝලයේ දත්ත රැස් කරමින් එමිරේට්ස් විද්‍යාඥයන්ට එවීම සිදු කරයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවුයේ ‘පර්සිවියරන්ස්’ නමැති රොබෝ යානයයි. මෙය ද රෝවර් යානයකි. ‘පර්සිවියරන්ස්’ පෙබරවාරි 18 වැනිදා අඟහරු මතට ගොඩබෑවේය. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වූ අතර දශමයකින් හෝ වරදක් සිදුවූයේ නම් ‘පර්සිවියරන්ස්’ අඟහරු මතට කඩා වැටෙන්න පවා ඉඩ තිබුණි. 

‘පර්සිවියරන්ස්’ රෝවර් යානයට සම්බන්ධ කරමින්, නාසා විද්‍යාඥයන් කුඩා හෙලිකොප්ටර් යානයක් ද අඟහරු යැවීය. පෘථිවියෙන් අඟහරු ගිය පළමු හෙලිකොප්ටරය මෙයයි. ඩ්‍රෝන හෙලිකොප්ටර් යානයක් වන මෙය, අඟහරුගේ වායුගෝලයේ පියාසර කරමින්, පටිගත කළ ශබ්ද තරංග පවා පෘථිවියට ලැබෙන්න සලස්වා තිබේ.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom