90 දශකයේ පුංචි තිරයේ ටාර්සන්ගේ චරිතයට පණ පෙවූ ඇමෙරිකන් නළු ජෝ ලාරා හදිසි අනතුරකින් මියගියේය. ජෝ ලාරා මියගියේ ඔහු ගමන් කළ කුඩා ගුවන් යානය කඩා වැටීමෙනි.
ලාරා ගමන් කළ කුඩා ගුවන් යානයේ තවත් 7 දෙනකු සිට ඇත. එම 7 දෙනා අතර ලාරාගේ බිරිඳ ග්වෙන් ෂැම්බ්ලින් ද වූවාය. අනතුරින් යානයේ ගමන් කරමින් සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
යානය නෑෂ්විල් ප්‍රාන්තයේ විලකට කඩා වැටුණි.
ජෝ සහ ග්වෙන් ෂැම්බ්ලින් විවාහ වූයේ 2018 දීය. ග්වෙන් ෂැම්බ්ලින් ආහාර පාලනය කරමින් නිරෝගීව ජීවත් වීමට උපදෙස් ලබා දෙන පෝෂණවේදිනියකි.
ජෝ ලාරා පළමුවෙන් ටාර්සන්ගේ චරිතය නිරූපණය කරමින් එක් වූයේ 1989 වසරේ 'ටාර්සන් ඉන් මෑන්හැටන්' චිත්‍රපටයටය. ඉන්පසු 1996 සිට 1997 තෙක් කාලයේ 'ටාර්සන්: ද එපික් ඇඩ්වෙන්චර්' ටෙලි කතා මාලාවට එක් විය. මෙම කතා මාලාව ශ්‍රී ලංකාවේ ද විකාශය කෙරුණි. ඒ, ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ ය.