ඊශ්‍රායල විපක්ෂය රජයක් පිහිටුවන්න සැරසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 31, 2021

ඊශ්‍රායල විපක්ෂය රජයක් පිහිටුවන්න සැරසෙයි

sample-ad-complete-big
000_99C8Y9

යාර් ලපිඩ් සහ බෙනට්

netanyahu-2-988648-1621652226
ඊශ්‍රායල විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක්වී රජයක් පිහිටුවීමට සැරසෙයි. ඒ අනුව වසර දූෂණ චෝදනාවලට ලක් වී එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දෙමින් සිටින වත්මන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ 12 වසරක පාලනය අවසන් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

පසුගිය මාර්තු 23 වැනිදා ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්විණි. ඒ වසර දෙකක් තුළ පැවැති සිවුවැනි මැතිවරණයයි. එසේ වුයේ පෙර පැවැති මහ මැතිවරණවලින් කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි කර ගැනීමට නොහැකි වීමත්, අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ ඔහුගේ 'ලිකුද්' පක්ෂය පිහිටුවාගත් සන්ධාන සියල්ල බිඳ වැටීමත් නිසාය. 

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාව ආසන 120 කින් සමන්විත වන අතර බහුතරය සඳහා ආසන 61 කට වඩා දිනා ගත යුතුය. අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ 'ලිකුද්' පක්ෂයට ඇත්තේ නෙසට් සභාවේ ආසන 30 ක් පමණක් වන අතර ඊශ්‍රායල සෙසු දේශපාලන පක්ෂ අතරේ ඉතිරි ආසන බෙදී පවතී.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු නායකත්වය දෙන 'ලිකුද්' පක්ෂය මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන බලවේගයකි. පසුගිය මාර්තු 23 වැනිදා මැතිවරණයෙන් පසු, ඊශ්‍රායල ජනාධිපතිවරයා රජයක් ස්ථාපිත කිරීමේ අවස්ථාව නෙදන්යාහුට ලබා දුන්නත්, ඔහුට එසේ රජයක් පිහිටුවිය නොහැකි විය. 

ඒ අනුව, විපක්ෂ නායක 57 හැවිරිදි යාර් ලපිඩ් ට ඒ සඳහා අවස්ථාව ලබුණි. රජයක් පිහිටුවීමට හැකි බව දැනුම් දීම අනිද්දා (2) බදාදා මැදියම් රැයට පෙර කළ යුතුව ඇත. යාර් ලපිඩ් නායකත්වය දෙන්නේ, මධ්‍යස්ථමතධාරී 'යෙෂ් අතිද්' පක්ෂයටය. 

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂ නායකයා ලෙස සැලකෙන්නේ ද යාර් ලපිඩ් ය. ලිපිඩ් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර, 2013 සිට 2014 කාලයේ ඊශ්‍රායල මුදල් ඇමැති ලෙස එම ධුරය හෙබවීය. යාර් ලපිඩ්, දේශපාලනයට පිවිසුණේ 2012 දීය. 

ඊට පෙර ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද කටයුතු කර ඇත. ලපිඩ්ට සහාය දක්වමින් සන්ධාන රජයකට කැමැත්ත පළ කළ සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ නෆ්තාලි බෙනට් නායකත්වය දෙන, අන්ත දක්ෂිණාංශික 'යමීනා' පක්ෂයයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාවේ) වැදගත් ආසන කීපයක් මෙම පක්ෂය සතුව පවතී. 

49 හැවිරිදි බෙනට් යනු ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයාය. ඔහු 'යමීනා' පක්ෂයට නායකත්වය දෙන්නේ 2018 වසරේ සිටය. 2019 සිට 2020 කාලයේ ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරය හෙබවූයේ බෙනට් ය. බෙනට් පෙන්වා දෙන ආකරයට, ඔහුට 'යෙෂ් අතිද්' දේශපාලන පක්ෂයේ නායක යාර් ලපිඩ් සමඟ එක්වී සන්ධාන රජයක් පිහිටුවිය හැකිය. 

“මට මාගේ මිතුරා යාර් ලපිඩ් හවුල්කර ගනිමින් ජාතික ඒකීය රජයක් පිහිටුවන්න මා උත්සාහ ගන්නවා. මා විශ්වාස කරනවා දේව ආශිර්වාදය මැද අපට හැකිවේවි ඊශ්‍රායලය යළි නිවරදි මඟට යොමු කරමින් සමෘද්ධිය කරා ගෙන යන්න.” යැයි බෙනට් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔහුගේ 'යමීනා' පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය. 

නෆ්තාලි බෙනට්ගේ 'යමීනා' පක්ෂය සමඟ සන්ධානගත වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේ සන්ධානගත වී නව රජයක් පිහිටුවුවහොත්, 1996 වසරේ සිට බලයේ රැඳී සිටින අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ පාලනය අවසන් වනු ඇත. නෙදන්යාහු ජනතා ප්‍රසාදය දිනූ නායකයකු වුවත්, ඔහු ජනතා අප්‍රසාදයට පත් වූයේ 1999 වසරෙන් පසුවය. 

මීට දින කීපයකට පෙර, පලස්තීන ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතරේ දින 11 කි තිස්සේ ගැටුම් පැවැතිණි. මෙය නෙදන්යාහු සිය ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට කළ උත්සාහයක් යැයි දේශපාල විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

කොරෝනා වසංගතය හමුවේ, කඩිනමින් ඇමෙරිකාවේ 'ෆයිසර්' ඖෂධ සමාගම සමඟ සෘජුව කතා කරමින්, ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් එන්නත් මිලදී ගැනීම කළේ ද නෙදන්යාහුය. 

වැඩි පිරිසකට එන්නත් ලබා දී, එන්නත්කරණය හරහා රටේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නෙදන්යාහු රජය සමත් වී සිටී. එසේ වුවත්, දූෂණ චෝදනාවලට ලක්වී නඩු විභාගයක් ද පැවැත්වෙන බැවින්, නෙදන්යාහු කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී අවසන් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

රොයිටර්

Classified_Ad