ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 26, 2021

ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි

රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී තිබේ. ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි. 
චීන වැසියන්ගෙන් සීනාට එල්ල වුණු අප්‍රසාදය
තිරගතවීම් ආරම්භ කළ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්' චිත්‍රපට මාලාවේ 9 වැනි චිත්‍රපටයට ජෝන් සීනා ද එක් වී සිටින අතර චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ එක් වීඩියෝවක ජෝන් සීනා, තායිවාන දූපත රටක් ලෙස හදුන්වයි.

සීනා, මෙසේ තායිවානය ගැන අදහස් දැක්වීමක් කළේ, 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් ' චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂ ජස්ටින් ලින් නිසාය. ජස්ටින් ලින් උපත ලබා ඇත්තේ තායිවානයේ තායිපේ අගනුවරය. 

ඇමෙරිකන් ජාතික හොලිවුඩ් අධ්‍යක්ෂකවරයකු වන ජස්ටින් ලින් 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් ' චිත්‍රපට පමණක් නොව අතිශයින් ජනප්‍රිය චිත්‍රපට රැසකට සහ රූපවාහිනී ටෙලි කතා රැසකට අධ්‍යක්ෂවරයකු ලෙසත් නිෂ්පාදකවරයකු ලෙසත් සම්බන්ධ වී සිටී.
හොලිවුඩ් අධ්‍යක්ෂ ජස්ටින් ලින්
චීනයේ අප්‍රසාදයටත් විරෝධයටත් හේතු වූයේ මෙම ප්‍රකාශ යැයි ලොවට පෙන්වා දුන්නේ  චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පුවත්පතය.

චීනය සීනා ට විරෝධය පළ කරද්දී, සීනා සිය වෙයිබෝ ගිණුම හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සමාව ඉල්ලුවේ මැන්ඩරීන් බසිනි. චීන ජාතිකයන් කතා කරන්නේ මැන්ඩරීන්ය. 

සීනා, සිය වෙයිබෝ ගිණුම හරහා කළ සමාව ඉල්ලීම, මේ වනවිට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත. 'මට ලොකු වැරදීමක් වුණා. මම ඒක දැන් නිවැරදි කරනවා. එසේ කිරීම ඉතාමත් වැදගත්. මම චීනයටත් චීන වැසියන්ටත් ආදරෙයි. ගරු කරනවා.' යැයි සීනා මැන්ඩරීන් බසින් සමාව ඉල්ලයි. 
ඒත් තමන් සමාව ඉල්ලන්නේ තායිවානය නිසා යැයි සීනා කිසිවක් නොකියයි. සමාව ඉල්ලන්නේ ඇයිදැයි සීනා පැහැදිලි නොකිරීම ද යළිත් වරක්, චීන වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෝන් සීනා මැන්ඩරීන් හොඳින් දන්නා අයෙකි. ඔහු චීනය ගැනත් චීන වැසියන් ගැනත් හොඳින් දන්නා අයකු වන අතර චීනයත් තායිවානයත් අතර ඇති අර්බුදය ගැන ද හොඳ අවබෝධයකින් පසුවෙයි. එවැනි අයකු වැරදීමකින් හෝ තායිවානය රටක් ලෙස හැදින්වීම පිළිගත නොහැකි බව චීන වැසියන් සමාජ මාධ්‍ය හරහා සීනාට අප්‍රසාදය පළ කර ඇත.

තායිවානය යනු චීනයට ආසන්නයේ පිහිටි දූපතකි. අතීතයේ තායිවානය චීනයට අයත් කොටසක් විය. කෙසේ නමුත් මේ වනවිට තයිවානය චීන පාලනයෙන් මිදී වෙනම පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. එසේ වුවත්, චීනය තවමත් තායිවානය සලකන්නේ චීනයේ කොටසක් ලෙසය. 

තායිවානය විදෙස් සබඳතා ඇති කර ගැනීම, විදෙස් ආයෝජන ලබා ගැනීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. චීනයේ ඉල්ලීමට රටවල් බොහොමයක් තායිවානය සමඟ වෙළෙඳ සබඳතා පවා පවත්වන්නේ නැත.

කොරෝනා වසංගතය හේතුවෙන්, තිරගතවීම් ප්‍රමාද වුවත්, 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9' චිත්‍රපටය ඉතාලියෙන් තිරගතවීම් ආරම්භ කරනු ලැබුවේ අප්‍රේල් පළමු වැනිදාය. 
සුපුරුදු පරිදි, 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්' සුපිරි නළු නිළි කැල වින් ඩීසල්, මිෂෙල් රොඩ්රීගස්, ටයිරීස් ගිබ්සන්, ජෝඩානා බෲස්ටර්, ලුඩික්‍රස්, නටලී ඉමැනුවෙල් 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9'  සදහා එක් වී සිටිති. එපමණක් නොව, 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්' චිත්‍රපට මාලාව සම්බන්ධ නළු නිළියන් රැසක්, මෙම චිත්‍රපටයට සම්බන්ධ වීම සුවිශේෂී සිදුවීමකි.

ජෝන් සීනා චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ජේකොබ් ටොරේටෝ ලෙසය. වින් ඩීසල් 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්' චිත්‍රපට මාලාවට එක් වී සිටින්නේ ඩොමිනික් ටොරේටෝ ලෙසය. ජේකොබ් ටොරේටෝ යනු ඩොමිනික් ටොරේටෝගේ සොහායුරාය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom