විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝ සුරූපිනියට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 17, 2021

විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝ සුරූපිනියට

එන්නත්කරණ වැඩසටහනත් සමඟ ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය අඩුවෙද්දී, සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීතිවලට අනුව, මෙම 2021 වසර සඳහා විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්විණි. ඒ, ඊයේ (16) රාත්‍රියේය. 69 වැනි වරට පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රාහිකාව වූයේ මෙක්සිකෝව නියෝජනයට කරමින් තරගාවලියට සහභාගී වුණු සුරූපිනියයි. ඇය අන්ද්‍රෙයා මෙසා ය. 
2021 විශ්ව රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි සෙමිනෝල් හාඩ්රොක් හෝටලයේදී සෞඛ්‍ය නීතිරීතිවලට අනුව අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. 

විනිසුරුවරුන්, තරගකාරියන් සහ නරඹන්නන් ඇතුළු බොහෝ දෙනා මුහුණු ආවරණය කරගෙන සිටි අතර, වේදිකාවේ පෙනී සිටීමට අවශ්‍ය වූ විට සුරූපිනියෝ මුහුණු ආවරණ ඉවත් කරගෙන සිටියහ.

ජයග්‍රාහිකාව වූ 26 හැවිරිදි අන්ද්‍රෙයා, මෘදුකාංග ඉන්ජිනේරුවරියක වන අතර ඇය විනෝදාංශය ලෙස මෝස්තර නිරූපිකාවක ලෙස ද කටයුතු කරන බව පැවැසෙයි. 
විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ මෙක්සිකෝවට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙයයි. තරගාවලියට රටවල් 74 කින් සුරූපිනියන් සහභාගී වූ අතර, අවසන් වටයට, 21 දෙනකු තෝරා ගැනීම සිදුවිය. 
විනිසුරුවරුන්ගේ තීරණ අනුව, ළකුණු දීමේ පිළිවෙළ මත, අවසන් සුරූපිනියන් තිදෙනා වූයේ අන්ද්‍රෙයා, ජුලියා ගාමා සහ ජැනික් මැසෙටාය. 
ජුලියා ගාමා බ්‍රසීලය නියෝජනය කළ සුරූපිනිය වන අතර ඇය දෙවැනි ස්ථානයට පත් වූවාය. තෙවැනි ස්ථානයට පත් ජැනික් මැසෙටා පේරු සුරූපිනියයි. 
මෙක්සිකෝ, බ්‍රසීලය සහ පේරු යනු ලතින් ඇමෙරිකා රටවල්ය. 

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් පසුගිය 2020 වසරේ විශ්ව රූ රැජින තරගාවලියක් පැවැත්වීම සිදුවූයේ නැත. එහෙයින්, මෙවර 2021 විශ්ව රූ රැජින ලෙස ජයග්‍රහණය කළ අන්ද්‍රෙයා ට කිරුළු පැලඳීම සිදු වූයේ 2019 විශ්ව රූ රැජින දකුණු අප්‍රිකානු ජාතික සොසිබීනි ටුන්සී අතිනි. 
සෙමිනෝල් හාඩ්රොක් හෝටලයේ පැවැත් වුණු රූ රැජින තරගාවලිය සජීවීව ඇමෙරිකන් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. තරගාවලිය මෙහෙයවීම සිදුවූයේ ඇමෙරිකන් රූපවාහිනී නිවේදකයකු වන මාරියෝ ලෝපේස් සහ 2012 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳි ඔලිවියෝ කුල්පා එක් වෙමිනි. 
විනිසුරු මණ්ඩලය හමුවේ අදහස් දැක්වීමට වේදිකාවට පිවිසි අවස්ථාවේදී ඇය මෙසේ කීවාය.

 'අප ජීවත් වන්නේ දිනෙන් දින දියුණුවට පත්වන සමාජයක. සමාජීය වශයෙන් පවා අප දියුණුවට පත් වෙනවා.' අන්ද්‍රෙයා මෙසා මෙසේ පැවැසුවාය. 'ලස්සන කියන්නේ බාහිර පෙනුමට නොවෙයි. ලස්සන හදවතින් එන්න ඕනෑ දෙයක්. ආත්මීය වශයෙන් ලස්සන තියෙන්න ඕනෑ. අප හැමෝටම වටිනාකමක් තිබෙනවා. එහෙම නෑ කියන්න කාටවත් ඉඩ දෙන්න හොඳ නෑ' අන්ද්‍රෙයා මෙසා කීවේ පරිවර්තකයකුගේ සහාය ඇතිවය. 
අඩි 6 ක් උසැති මෙම සුරූපිනියට චීන සම්භවයක් ඇති බව ද පැවැසෙයි. කොරෝනා වසංගතය අද ලොව කාටත් වසංගතයකි. මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමෙරිකා රටවල් බොහොමයක් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් වී ඇත. ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. 
'අප කවුරුත් දුරදිග බලා සංචරණ සීමා පැනැවීම් කළා නම්, ලොක්ඩවුන් කළා නම්, අද මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. කොරෝනා ජීවිත රැසක් බිලි ගත්තා. එසේ වීම කනගාටුවට කරුණක්. හැම රටක්ම තම තමන්ගේ ජනතාව බේරා ගැනීමට මුල් තැන දෙන්න ඕනෑ' යැයි අන්ද්‍රෙයා පෙන්වා දුන්නාය. 

තරගාවලියට එක්වුණු තරගකාරියන්ට, වට තුනකදී, ඇඳුම් මෝස්තර කීපයකින්, විනිසුරුකරුවන් ඉදිරියේ පෙනී සිටීමට සිදුවුණු අතර, ඒ සෑම වටයක් ම ජයග්‍රහණය කිරීමට අන්ද්‍රෙයා සමත් වූවාය. සාම්ප්‍රදායික මෙක්සිකෝ ජාතික ඇඳුමින් සැරසී, අන්ද්‍රෙයා විනිසුරුවරුන් සහ නරඹන්නන් අතරට ඇවිද ආවේ ඇස්ටෙක් මකරකු නිරූපණය කරන අයුරිනි. 
තම තමන්ගේ ජාතික ඇඳුමින් සැරසී වේදිකාවට ගොඩවුණු බොහෝ සුරූපිනියෝ සමාජීය වශයෙන් මුහුණ දෙන ගැටලු ඉස්මතු කිරීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. 
ඇමෙරිකාවේ ආසියානුවන්ට එරෙහිව සිදුවන කෙණෙහිලිකම් නවත්වන්නැයි අවධාරණය කරමින් සිංගප්පූරුව නියෝජයන කළ සුරූපිනිය, බර්නාඩේ ‌බෙල් ඔංග් පැමිණියේ ලෝගුවක් ද පොරවා ගනිමිනි. 

'වෛරය එපා. හැමෝය එකිනෙකාට ආදරේ කරන්න' යැයි කියමින් දේදුනු වර්ණයෙන් පිරි ඇඳුමකින් වේදිකාවට ගොඩ වූයේ උරුගුවේ සුරූපිනිය ලෝලා දෙ ලොස් සැන්ටෝස් ය. 
සියලු සුරූපිනියන් අතරින් කාගේත් කතාබහට ලක් වූයේ මියන්මාර සුරූපිනිය තුසාර් වින් ලුවින් ය. ඇය මියන්මාර ජාතික ඇඳුමින් හැඩ වී පැමිණියේ 'මියන්මාරය වෙනුවෙන් යාඥා කරන්න' යනුවෙන් ලියූ පුවරුවක් ද අතැතිවය. ඉකුත් පෙබරවාරියේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. 
හමුදාව බලය අල්ලා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ඇතුළු සෙසු නාකයන් සිරගත කරමිනි. මියන්මාර සිවිල් වැසියන් හමුදා පාලකයන්ට එරෙහිව දිගින් දිගටම විරෝධතා පවත්වන අතර, හමුදා ප්‍රහාරවලින් මේ වනවිට බොහෝ දෙනකුට ජීවිත අහිමි වී ගොසිනි.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom