නෂීඩ්ගේ තත්ත්වය හොඳ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

නෂීඩ්ගේ තත්ත්වය හොඳ නෑ

බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කළ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු කතා නායකවරයා ද වන මොහොමද් නෂීඩ්ගේ තත්ත්වය බරපතල යැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.‍ මොහොමද් නෂීඩ් සැත්කම් කීපයකට භාජන කළ බව ද වාර්තා වේ.

මේ අතර නෂීඩ් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලදී විදේශ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව මාලදිවයින ස්වදේශ කටයුතු අමාත්‍ය ඉම්රාන් අබ්දුල්ලා පවසයි. 

මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළ ජනාධිපතිවරයකු ලෙස නෂීඩ් සැලකෙයි. 53 හැවිරිදි නෂීඩ්, සිය නිල නිවස ඉදිරිපිටදී, සිය මෝටර් රථයට ගොඩ වෙද්දී, ඒ අසල තිබූ යතුරු පැදියක ඇටවූ බෝම්බය පුපුරා ගොස් ඇත. බෝම්බ පිපිරීම සිදුවූයේ ඊයේ (6) රාත්‍රියේය. 

ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට නෂීඩ් සමත් වූ නමුත් තුවාල ලබා සිටි ඔහු කඩිනමින් රෝහල් ගත කෙරුණි.

මාලදිවයිනේ කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇති අතර, ඊයේ (6) සිට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනැවීමට මාලදිවයින රජය තීරණය කර තිබුණි. නෂීඩ් බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට සුළු මොහොතකට පෙර යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

2008 වසරේ දී, මාලදිවයිනේ ප්‍රථම බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වූ මොහොමඩ් නෂීඩ්ගේ පාලන බලය 2012 වසරේදී අබ්දුල්ලා යමීන් විසින් පෙරලා දැමූ අතර, පසුව ඔහු ට ත්‍රස්තවාදී චෝදනා මත වසර 13 ක සිරදඬුවම් ද නියම කෙරුණි. 

වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි නෂීඩ් යළි 2018 දී මාලදිවයිනට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සටනට එක් විය. 2019 මැතිවරණයෙන් පසු ඔහු මාලදිවයින් කතා නායක ධුරය ඔහුට පිරිනැමුණි. 

ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේදී, යමීන් රජය චීනයෙන් විශාල වශයෙන් ණය ලබා ගැනීමට කටයුතු කළ අතර, නෂීඩ් ඊට එරෙහිව දැඩිව විරෝධය දැක්වූ අයෙකි. නෂීඩ් විරෝධය දැක්වූයේ, මාලදිවයින චීනයට උකස් කරන බවට යමීන්ගේ පාලනයට චෝදනා කරමිනි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom