තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 7, 2021

තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක්

මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නත වෙනුවට එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් 5' එන්නතක් නිපදවීමට රුසියන් විද්‍යාඥයන් පියවර ගෙන ඇත. 

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනවය නිපදවූ 'ස්පුට්නික් 5' එන්නත ය. ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්, 'ස්පුට්නික් 5' නිපදවා ඇත්තේ මාත්‍රා දෙකක් ලෙසය. 

වයිරසට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවය. මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි. අතුරුආබාධ අවම එන්නතක් ලෙස ද 'ස්පුට්නික් 5' සැලකෙන අතර, මෙය අපනයනය සිදුවන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය. 

මේ වනවිට රටවල් 60 කට වැඩි ගණනක් 'ස්පුට්නික් 5' එන්නත හදිසි භාවිතයට යොදාගෙන තිබේ. එසේ වුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හෝ යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය හෝ 'ස්පුට්නික් 5' සඳහා අනුමැතිය දී නැත.

 දිනෙන් දින ඉල්ලුම වැඩිවෙද්දී, මාත්‍රා දෙකකින් යුත් එන්නත වෙනුවට තනි මාත්‍රාවක එන්නතක් නිපදවීම කෙරෙහි ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්ගේ අවදානය යොමුවී ඇත්තේ මීට මාස කීපයකට පෙර යැයි ද පැවැසෙයි. 

ඒ අනුව, අලුතින් නිපදවන එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් 5' එන්නත නම් කර ඇත්තේ 'ස්පුට්නික් 5 ලයිට්' යන නමිනි. සායනික අත්හදා බැලීම් අනුව, 'ස්පුට්නික් 5' මාත්‍රා දෙකකින් යුත් එන්නත ලබා ගැනීමේදී එහි සාර්ථකත්වය සියයට 91.6 කි. 

අලුතින් නිපදවූ තනි මාත්‍රාවේ 'ස්පුට්නික් 5 ලයිට්' එන්නතේ සර්ථකත්වය සියයට 79.4 කි. එම සාර්ථකත්වය තව වැඩි කිරීමට මේ වනවිට පර්යේෂණ සිදුවෙමින් පවතී. 

එපමණක් නොව, 'ස්පුට්නික් 5 ලයිට්' එන්නත නිපදවන්නේ, මෙතෙක් හමුවී ඇති විකෘති කොරෝනා වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යැයි ද ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත. 

රුසියාව ඔවුන්ගේ මෙම ප්‍රතිශක්තිකරණ එන්නත 'ස්පුට්නික්' යන නමින් නම් කර ඇත්තේ, අතීතයේ සෝවියට් දේශය, පෘථිවි කක්ෂයට යැවූ පළමු චන්ද්‍රිකාව වන 'ස්පුට්නික් 1' සිහිපත් කරමිණි. 'ස්පුට්නික් 1' පෘථිවි කක්ෂයට යැවීමට සෝවියට්වරුන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. 

කොරෝනා වසංගතයට එරෙහිව, පළමුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමට හැකිවීම ද ඒ හා සමාන ජයග්‍රහණයක් යැයි රුසියාව පවසයි. එන්නත 'ස්පුට්නික්' යන නමින් නම් කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය. 

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom