බුදු ගුණ අසමසමයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 26, 2021

බුදු ගුණ අසමසමයි

බුදු ගුණ සිහිපත් කිරීම සිත සකසා ගැනීම සඳහා හේතු වන කරුණකි. මෙය අනුස්සති ධර්මයක් වශයෙන් වැඩිය හැකි භාවනාවක් ද වේ. සාමාන්‍ය බෞද්ධ ජන සමාජය බියක් තැතිගැන්වීමක් ඇති වූ අවස්ථාවල සිහි කරනු ලබන්නේ බුදු ගුණ ප්‍රමුඛ වූ තෙරුවන් ගුණ බව ප්‍රකට කරුණකි. 

එහි දී මූලික වශයෙන් භාවිත කරනුයේ “ඉතිපිසෝ භගවා අරහං” යනාදී සාම්ප්‍රදායික බුදුගුණ පාඨයයි. එහි ඇතුළත් වන්නේ තථාගතයන් වහන්සේගේ ගුණ නමයක් පිළිබඳවය. එහෙත් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ එබදු වූ ලඝු කිරීමකට ලක් කළ නොහැකියි. බුදුන් වහන්සේගේ ගුණ පිළිබඳ ධර්මයෙහි දැක්වෙන්නේ අනන්ත වූ ගුණ සමුදාය වශයෙනි. කෙසේ නමුත් භාවිතයේ පහසුව සඳහාත් පහසු උච්චාරණය සඳහාත් එසේ ගුණ නවයකට ගොනු කිරීම සිදු කළා විය හැකිය. 

එය දීර්ඝ විග්‍රහයකට ලක් කරන අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වහන්සේ තමන් වහන්සේගේ “සූවිසි මහා ගුණය” නම් වූ ග්‍රන්ථයෙන් එය ඉතා මැනවින් විග්‍රහ කර ඇත. සකල ක්ලේශ ප්‍රහාණයෙන් ලෝකෝත්තර තත්ත්වයෙහි වැඩ විසූ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වූ ලොවුතුරා සම්බුදු පදවියට පත්වූයේ උතුම් මිනිස් ජීවිතයක් ලැබීමෙන් බව අප අමතක නොකළ යුතුව ඇත. 

මිනිස් මවක්, මිනිස් පියෙක් ඇතිව ලොව පහළ වන උන්වහන්සේ සියලු මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ අප්‍රමාණ අවබෝධයක් ඇතිව වැඩ විසූ අසාමාන්‍ය වූ උතුම් මනුෂ්‍යයෙකු බව උන්වහන්සේ විසින් ම බොහෝ විට දේශනා කරන ලදහ. එම උතුම් මිනිස් චරිතය තුළ වූ මිනිස් ආදර්ශ අනුගමනය කළ නොහැකි මනුෂ්‍යයකු ද නොසිටිය නොහැකිය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකත් අටලෝ දහමෙහි කම්පා නොවූහ. අටලෝ දහමෙහි නියමවලට තම ජීවිත කාලය පුරාම මුහුණ දුන් ආකාරය ඉතා ප්‍රකට කරුණකි. 

දුෂ්කර ක්‍රියා සමයෙහි බෝසත්වරයන් වහන්සේ නමක ලෙස අප්‍රමාණ දුක් පීඩාවන්ට ලක් වෙමින් පර්යේෂණශීලීව විවිධ වෘත තපස් ක්‍රම අනුගමනය කරමින් අපේක්ෂිත අරමුණ කරා ගමන් කිරීමට දරන ලද උත්සාහය සහ වීර්යය මානව සමාජයෙහි වෙනත් කිනම් මනුෂ්‍යයෙකු විසින් දරන ලද්දේදැයි නිශ්චය කළ නොහැකිය. 

මෙම මහා කැප කිරීමෙන් හා සපුරන ලද පාරමිතා පූර්ණයෙන් යුතුව ස්වයම්භූඥානයෙන් අවබෝධ කරගත් උතුම් සම්මා සම්බුද්ධත්වයෙන් යුතුව ගෙවා ලූ වසර හතළිස් අටක් පමණ වූ බුද්ධත්ව ජීවිතය ද අටලෝ දහම අබිබවා යාමට සමත් වූ බවක් නොපෙනේ. භාග්‍යවතුන් වහන්සේට එම ස්වාභාවික ධර්මතා අසමසම වූ බුද්ධ බලයෙන් යටපත් කිරීමේ හැකියාව ඇතැම්විට තිබෙන්නට ඇත්තේ උත්තරීතර ඤාණ මාර්ගයක් පසක් කළ උතුම් මනුෂ්‍යයකු ලෙස ඒ සඳහා මුහුණ දුන්නා විය හැකිය. 

ශාස්තෘන් වහන්සේ නමක ලෙස ඒ තුළින්ද මානව වර්ගයාට පමණක් නොව තම ශ්‍රාවක පිරිසට පරමාදර්ශී චර්යාවක් පෙන්නුම් කර ඇති බව දැකගත හැකි වේ. ඇතැම් සමයවාදීන් උන්වහන්සේ මායාකාරයෙකු ලෙස හඳුන්වා දුන් අතර කළ හැකි සියලු‍ අපහාස හා උපහාස නොඅඩුව ලබාදුන් අයුරු ධර්ම සාහිත්‍යයෙන් විස්තර කෙරේ. උතුම් බුද්ධ චරිතයෙහි දක්නට ලැබෙන අකම්ප්‍ය බව, ශාන්තිවාදී බව, අවිහිංසාව මෙන්ම අසාමාන්‍ය වූ කාරුණික බව හා සමානත්තතා ගුණය සමස්ත බුදු සිරිත පුරා ප්‍රකටව ඇත්තේ ලොව පහළ වූ සියලු‍ ශාස්තෘවරුන් අබිබවා ලමිනි. මෙම සියලු‍ බුදුගුණ අතර තවත් සුවිශේෂී ගුණයක් වශයෙන් අවසගතාදී ගුණය පිළිබඳ සඳහන් කළ හැකිය. ඉන් අර්ථවත් වන්නේ කිසිවෙකුටත් තථාගතයන් වහන්සේ වසඟ කරගත හැකි නොවීමය. 

භාග්‍යවතුන් වහන්සේ තම සියලු‍ චර්යාවන් අනම්‍යශීලීව ක්‍රියාත්මක කළ බවක් මින් අදහස් නොකරන අතර ඇතැම් අවස්ථාවල යම් යම් පුද්ගලයන් දමනය කිරීම සඳහා නම්‍යශීලී වූ අවස්ථාවන් ද ආලවක සූත්‍ර ආදියේ දී දැකගත හැකිව තිබේ. පුහුදුන් පුද්ගලයන් පුහුදුන් අපේක්ෂාවන් වෙනුවෙන් උන්වහන්සේ වසඟ කර ගැනීම සඳහා විවිධ ප්‍රයත්න දරන ලද විවිධ අවස්ථා ඇත. 

එම අවස්ථාවලින් ඉතා ප්‍රකට අවස්ථාවන් වන්නේ බෝධි මූලයේ දී සිදු කරන ලද මරඟනන්ගේ උත්සාහය හා මාගන්දියගේ විවාහ යෝජනා අවස්ථාවන්ය. මේ පිළිබඳ ධම්මපද පාලියෙහි බුද්ධ වග්ගයට අයත් වන යස්ස ජිතං නාව ජීයතී - ජිතමස්ස නොයාති කොචි ලෝකේ තං බුද්ධ මනන්ත ගෝචරං - අපදං කේන පදේන නෙස්සථ යස්ස ජාලිනී විසත්තිකා - තණ්හා නත්ථි කුහිංචි නේතවේ තං බුද්ධ මනන්ත ගෝචරං - අපදං කේන පදේන නෙස්සථ යන මෙම ගාථා ධර්මයෙන් මනාව කරුණු පැහැදිලි වේ. සියල්ල දත් පිරිපුන් නුවණින් යුත් බුදුරදුන් කිසිවෙකුටත් වසඟ කරගත නොහැකිය. 

මෙහිදී “ජිතං” යන්නෙන් පැහැදිලි කොට ඇත්තේ දිනන ලද බවයි. එනම් කෙලෙස් සතුරන් මගඵල නැණ නම් වූ අසිපතින් වනසා කෙලෙස් මුල් සිඳ දැමීමෙන් ලබන ලද උතුම් ජයග්‍රහණය පිළිබඳව මින් ප්‍රකාශිතය. “අනන්ත ගෝචරං” යන්නෙන් නිවන් දැකිය නොහැකි අරමුණු ඇති බව හා සියල්ල දන්නා බුද්ධ ඥානයට ඒ සියල්ල විෂය ව පවත්නා බවයි. “අපදං” යන්නෙන් ප්‍රකාශ වන්නේ කෙලෙස් මුල් නසා ඇති බැවින් අන්‍යයන්ට වසඟ වීමට හෝ සසර නැවත නැවත ඉපදීමට හේතුවක් නැති බවයි. එමෙන්ම “බුද්ධං” යන්නෙන් බුදුරදුන් පිළිබඳව සඳහන් වන අතර බුදුවරයන් වහන්සේ සංඛ්‍යාත්මකව සිව්නමක් පිළිබඳ සඳහන් වේ. එනම් දත යුතු සියල්ල මැනවින් දැන එසේ මැනවින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට ඔවුන් ඔවුන්ට අවබෝධ කරවීමෙන් විමුක්ති මාර්ගයෙහි පිහිටුවන සම්මා සම්බුදුවරයන් වහන්සේ එම උතුමන් වහන්සේ අතර ප්‍රමුඛත්වය ගනු ලැබේ. 

දෙවැනි බුදුවරයන් වහන්සේ ලෙස පච්චේක බුද්ධ නම් වූ පසේ බුදුවරයන් වහන්සේ පිළිබඳ සඳහන් වන අතර උන්වහන්සේගේ ස්වරූපය ලෙස දැක්වෙන්නේ අවබෝධ කරගත් සිව්සස් දහම අන්‍යයන්ට දේශනා කිරීමේ හා අවබෝධ කරවීමේ හැකියාව නොමැති උතුමෙකු ලෙසිනි. තෙවැනි බුදුවරයන් වහන්සේ ලෙස සඳහන්ව ඇති චතුසච්ච බුදුවරයන් වහන්සේ ද තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ට දෙසීමේ හැකියාව ඇති උතුමන් වහන්සේ නමකි. 

 සිව්වැනි බුදුවරයන් වහන්සේ වූ සුත බුද්ධ නම් බොහෝ දැනඋගත්කම් ඇතිව ත්‍රිපිටකධාරීව හදාරා ඇති ධර්මය මැනවින් දේශනා කිරීමේ සමත්කම් ඇති උතුමන් වහන්සේ නමක ලෙස විස්තර කෙරේ. මෙසේ සඳහන් කරන ලද සිව් බුදුවරයන් වහන්සේ අතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ම උතුම් වන අතර උන්වහන්සේ කිසිවකුටත් පොළඹවා ගැනීම හෝ වසඟ කරගත නොහැකි බව මින් මනාව දක්වා ඇත. 

“යස්ස ජාලිනී විසත්තිකා- තණ්හා නත්ථි කුහිංචි නේතවේ” යන්නෙන් තවදුරටත් විස්තර වනුයේ සම්බුදුවරයන් වහන්සේ නමක් යම් කිසි භවයකට හෝ කිසිවෙකුගේ වසඟයට පත්කළ නොහැකි වන්නේ ජාලිනී හා විසත්තිකා නම් වූ තණ්හාව සම්පූර්ණ වශයෙන්ම ක්ෂය කර ඇති නිසා බව ඉන් විස්තර කරනු ලැබේ. “තං බුද්ධ මනන්ත ගෝචරං-අපදං කේන පදේන නෙස්සථ” යන්නෙන් වැඩිදුරටත් දේශනා කොට ඇත්තේ සම්බුදු නුවණට ගෝචර වන අප්‍රමාණ අරමුණු ඇතත් සසර පැවැත්ම සඳහා හේතුවන රාගාදී හේතු නිරවශේෂව දුරු කර ඇති බුදුරදුන් කුමන හේතුවකින් වසඟයට ගන්නේද යන්න පමණක් නොව කෙසේ උත්සාහ කළ ද එය කළ නොහැකි බව ඉන් වැඩිදුරටත් දේශනා කොට ඇති අයුරු දැක්වේ.

භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ කිසිදු පුද්ගලයෙකුට වසඟ කරගත නොහැකි බව පෙන්වා දෙමින් දේශනා කරන ලද මෙම උතුම් දේශනය සිදු කිරීම සඳහා පාදක වූ සිදුවීම ද රසවත් සිදුවීමකි. තවත් සුවිශේෂීතාවක් වන්නේ බුදු මුවින් දෙවරක්ම දේශිත ගාථා ධර්මයක් ලෙස සඳහන්ම වීම වන අතර ප්‍රථම අවස්ථාව ලෙස සඳහන්ව ඇත්තේ බුද්ධත්වයෙන් පස්වැනි සතියෙහි අජපාල නුග රුක මුලදී තණ්හා, අරති, රඟා, යන මාර දියණියන් ඇතුළු මාරයාට බවයි. එසේ උරුවේලාවෙහි බෝධි මූලයේ දී මෙන්ම කුරු රට මාගන්දිය ග්‍රාමයේදී දෙවැනි වරටත් මෙම දේශනය සිදු කරනු ලබන්නේ තථාගතයන් වහන්සේට විවාහ යෝජනාවක් ගෙන එනලද අවස්ථාවක් උපයෝගී කර ගනිමිනි. 

දිනක් භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුතුව සුපුරුදු ලෙස ලොව බලා වදාරනුයේ අනාගාමී මග ඵල ලැබීමේ පුණ්‍යමහිමයෙන් යුතු බමුණු යුවලක් දුටුසේක. දඹදිව කුරු රට මාගන්දිය නම් ගමෙහි විසූ මෙම බ්‍රාහ්මණ පවුලෙහි ප්‍රධානියා දිනපතා ගිනි දෙවියන් පුදන්නෙකි. එම බමුණු මවුපිය දෙපළට ඉතා සුන්දර වූ මාගන්දියා නම් දියණියක වූයේ මතු නොව රූසිරින් අනූන ඇය හා විවාහ වීමට බොහෝ ක්ෂත්‍රීය හා බමුණු කුමාරවරු විමසමින් සිටියහ. ඒත් ඒ සඳහා මවුපිය අනුමැතිය නොලැබුණි. 

ඔවුන් සොයමින් සිටි සුවිශේෂී පුරුෂයා ලැබෙනතුරු නොඉවසිලිමත්ව කල් ගෙවමින් පසුවනුයේ එක් දිනක් ගිනි දෙව් වන්දනාව සඳහා දෙවොලට යන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ ඔහු ඉදිරියට වැඩමවා ලූහ. බමුණා හා බැමිණිය සසරින් එතෙර කරවීමේ හේතු සම්පත් දැක වැඩමවා ලූ බුදුරදුන් දුටු මාගන්දිය බමුණු පියාණන්ට සිහිපත් වූයේ තම දියණියට සුදුසු කුමරෙකු ලැබීම පිළිබඳ සිතෙහි සැඟව තිබූ අදහසයි. දියණිය පිළිබඳ විස්තර කරමින් තම දියණියට තමන් සොයන ලද පුරුෂයා භාග්‍යවතුන් වහන්සේ බව පවසමින් දියණිය විවාහ කර දීමේ යෝජනාව ඉදිරිපත් කොට ඉක්මනින් නිවසට ගමන් කළේ තම බිරිඳ හා දියණිය කැඳවාගෙන ඒම සඳහාය. 

භාග්‍යවතුන් වහන්සේ ද තමන් වහන්සේගේ පිය සටහන් කොට තබමින් තරමක් දුරින් වැඩ සිටින අතර මාගන්දිය බමුණා සහ බැමිණියත් සියලු‍ ආභරණින් සැරසුණ මාගන්ධියා දියණියත් පැමිණියේය. දේහ ලක්ෂණ විද්‍යාව දන්නා වූ මව පා සටහන් අනුව මෙම විවාහය පිළිබඳ අවිශ්වාසයද පළ කළාය. 

එසේ වුවත් ස්වාමිපුරුෂයාගේ අදහසත් දියණියගේ අවශ්‍යතාවත් මත තිදෙනා එක්ව බුදුරදුන් ඉදිරියේ පෙනී සිටිමින් රුසිරින් අගපත් තම දියණිය භාර්යාව කොට අතිනත ගන්නා ලෙස තථාගතයන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලදී. මළ මුත්‍රාදියෙන් පිරුණ විසිතුරු කරන ලද කළයක් බඳු මැයගේ අත අතින්ගැනීම මතු නොව පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට තමන් කැමති නොවන බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ. 

එපමණක් නොව බෝධි මූලයේ දී දුටු මාර දූවරුන්ගේ රූසිරි ඉදිරියේ මේ කුමන රුවක්ද යන්නත් රාජකීයයකු වශයෙන් විඳින ලද පස් කම් සැපයෙහි ආදීනව ද ඇතුළත් කොට බුදුවීම දක්වා බුද්ධ ජීවිතයෙහි නිරාමිෂ සුවය ගෙනහැර පාමින් “යස්ස ජිතං නාව ජීයතී” ආදී ලෙසින් ධර්ම දේශනා කළ සේක. මෙහිදී තම උසස් රූසපුවට නින්දා කරන ලදැයි මාගන්දියා භාග්‍යවතුන් වහන්සේට වෛරීව අපහාස කරමින් පිටත්ව ගියාය. පසුකාලීනව ඊර්ෂ්‍යාසහගතව බුදුරදුන්ට නින්දා කරමින් පලිගැනීම් ද සිදුකරන ලද්දීය. 

එසේ වුවත් මාගන්දිය බමුණා හා බැමිණිය අනාගාමී සුවයෙන් සැනසුන ආකාරය අපේ ධර්ම සාහිත්‍ය මගින් මැනවින් වර්ණනා කොට ඇත. සම්බුදු සිරිතෙහි සුවිශේෂී සිදුවීම් කීපයක් මතු නොව ලංකා සාසන ඉතිහාසයෙහි අතිශය වැදගත් සිදුවීම් කීපයක් සිදුව ඇති වෙසක් පුන් පොහෝ දිනය තරම් වැදගත් වෙනත් දිනයක් බෞද්ධ ජන සමාජයට තිබිය නොහැකි තරම්ය. 

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උපත සහ සම්බුද්ධත්වයට පත්වීමත් පමණක් නොව එම උත්තරීතර ශාස්තෘවරයන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූයේ ද අද වැනි දිනයක බව නොදන්නා කෙනෙකු නැත. බුද්ධත්වයෙන් පසු තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත් නුවරට ප්‍රථම වරට වැඩමවීම මතු නොව එහිදී යමාමහ පෙළහර නම් වූ මහා ප්‍රාතිහාර්ය පෑමද සිදු කළ බව ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. 

මේ හැරෙන්නට ලංකා සාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන භාග්‍යවතුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩමවීම පමණක් නොව සිරිපා සටහන සමනොල ගිර පිහිටුවමින් සොළොස්මස්ථානයට වැඩමවා වැඩ සිටිමින් සමස්ත ශ්‍රී ලංකාවම සම්බුදු සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් කිරීම ද අද දිනයෙහි සිදුවී තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ඉතිහාසය පිළිබඳ සැලකීමේදී ප්‍රමුඛ සිදුවීමක් වන විජයාවතරණය හා එනිසාම සිදු වූ සිංහල ජාතියේ ආරම්භය ද අදින් ඇරඹුන බව සඳහන් වේ. 

ධර්මාශෝක රජතුමාගේ නියමයෙන් දෙවන පෑතිස් රජතුමා දෙවැනි වරටත් අභිෂේක ලැබීමත් දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑ රදුන් ඉදිකරවීම ආරම්භ කරන ලද දිනය ලෙසත් අද දිනය වැදගත් වනු ඇත. මෙසේ ඉතා සුවිශේෂී දිනයක් වූ අද දිනයෙහි පූජනීයත්වය ද සලකමින් උතුම් ධර්මයට තව තවත් නම්‍යශීලී වෙමින් සසරින් එතෙර වීම සඳහා උත්සුක විය යුතුව ඇත. 

කොළඹ හැව්ලොක් සිටි සාමවිහාරාධිපති 
අතපත්තුකන්දේ ආනන්ද නා හිමි

Classified_Ad

Classified_Ad_News_Bottom