ඇෆ්ගනිස්තානයත් ටජිකිස්තානයත් අතර දේශසීමා පිවිසුම අත්පත් කර ගැනීමට තලේබාන් ත්‍රස්තවාදීහු සමත් වූහ.
'ෂීර් ඛාන් බන්දාර්' නමැති මෙම දේශසීමා පිවිසුම් මාර්ගය අත්පත්කර ගැනීමට තලේබාන් ත්‍රස්තවාදීන් සමත් වූයේ ඇෆ්ගන් සොල්දාදුවන් සමඟ පැවැති දරුණු අවි ගැටුමකින් පසුවය.
'ෂීර් ඛාන් බන්දාර්' දේශසීමා පිවිසුම ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි කුන්දුස් නගරයේ සිට කිලෝ මීටර් 50 ක් දුරිනි.
ඇෆ්ගන් තලේබාන් සංවිධානය කොටස් දෙකකි. ඒ, දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය ලෙසය.
කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටි තලේබාන් සාම කාර්යාලය හරහා ඇමෙරිකාව සමඟත් ඉන්පසු ඇෆ්ගන් රජය සමඟත් සාම සාකච්ඡා පැවැත්වීම කළේ දේශපාලන අංශයයි. එම සාකච්ඡා සාර්ථක වී ඇති අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත් වී යෑමට නියමිතය.
තලේබාන් දේශපාලනික අංශය ඇමෙරිකාව සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීම තලේබාන් සන්නද්ධ අංශයේ නොසතුටට හේතුවක් වී තිබේ. මේ වනවිට තලේබාන් සන්නද්ධ අංශය ද සන්නද්ධ කණ්ඩායම් කීපයකට බෙදී වෙන් වී ඇත. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සහ අල් කයිඩා ත්‍රස්තවාදීන් ද ඔවුන් සමඟ සන්ධානගතවී සිටින බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
තලේබාන් ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා යළි ආරම්භ කිරීමට පටන් ගත්තේ පසුගිය මැයි 1 වැනිදා සිටය. ඔවුන් 'ෂීර් ඛාන් බන්දාර්' දේශසීමා පිවිසුම අත්පත් කර ගැනීම, ඇෆ්ගන් ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී මෙම සති අන්තයේ ඇමෙරිකාවට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය පවසයි. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.
ඇමෙරිකාව, තලේබාන් පාලනය පෙරළා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ මීට වසර 20 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ප්‍රහාරයෙන් පසු, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව ලැබ ඇෆ්ගනිස්තානයේ සැඟවීමය.
මෙම 2021 වසරේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර, ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින සියලු ඇමෙරිකන් සොල්දාදුවන් සහ නේටෝ හමුදා සොල්දාදුවන් ඉවත් කර ගැනීමට නියමිතය. ඒ, ඇෆ්ගන් රජය, තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව ඇතිකරගත් සාම ගිවිසුමකට අනුවය.
එම සාම ගිවිසුමේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අරමුණ යැයි පැවැසෙයි.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, මෙම වාර්තාවට සකස් කර ඇත්තේ ඇමෙරිකා සහ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් සාමාජික රටවල බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.
බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, තලේබාන් සංවිධානයට අමතරව, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය ද ඇෆ්ගනිස්තානයේ සිය ආධිපත්‍ය පතුරුවනු ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
ඇමෙරිකා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්නේ ඇෆ්ගන් රජයට සහ හමුදාවට සහාය දක්වන උපදේශකවරුන් සහ පුහුණුකරුවන් ලෙසය.
ඉන්දීය උප මහද්වීපයේ ක්‍රියාත්මක, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් පමණක් නොව, පාකිස්තාන, ඉන්දීය, බංග්ලාදේශ සහ මියන්මාර මුස්ලිම් අන්තවාදීන් ද එක්වී සිටින බව එම වාර්තාවේ සඳහන් වෙයි. ඇෆ්ගනිස්තානයේ කන්දහාර්, හෙල්මද්, නිම්රූස් යන ඇෆ්ගන් ප්‍රාන්තවල ඉන්දීය උප මහද්වීපයේ අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
අල් කයිඩා ප්‍රධාන සංවිධානයේ නායක අයිමාන් අල් සවාරී සහ සෙසු නායකයන් සැඟවී සිටින්නේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ යැයි ඇමෙරිකන් බුද්ධි අංශ මේ වනවිටත් සනාථ කර තිබේ. ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්, අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ ආධිපත්‍ය පතුරුවා ගැනීම සිදු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
AFP