අප්‍රිකා මහද්වීපයේ දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සමාගම්වලට, 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව 'එම්.ආර්.එන්.ඒ' (mRNA) එන්නත් නිෂ්පාදනයට අවශ්‍ය දැනුම, තාක්ෂණය සහ නීත්‍යාණුකූල අවසරය ලබාදීමේ අරමුණින්, විශේෂ එන්නත් කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙද්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් කියයි.
මෙම 'එන්නත් කේන්ද්‍රස්ථානය' පිහිටුවීම සිදුවන්නේ දකුණු අප්‍රිකා රජයේ සහාය ඇතිවය. අප්‍රිකා මහද්වීපයේ රටවලට අවශ්‍ය කොවිඩ් 19 එන්නත්, අප්‍රිකා මහද්වීපයේ රටවල් නියෝජනය කරන සමාගම් එක්වී නිෂ්පාදනය කිරීම මෙම 'එන්නත් කේන්ද්‍රස්ථානය' හරහා සිදු සිදුවනු ඇත. දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පවසා ඇත්තේ, මෙම 'එන්නත් කේන්ද්‍රස්ථානය' පිහිටුවීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවය.
දැනට 'කොවිඩ් 19' වයිරස ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති 'එම්.ආර්.එන්.ඒ' (mRNA) එන්නත් ඇත්තේ දෙකක් පමණි. එම එන්නත් දෙකම නිපදවා ඇත්තේ ඇමෙරිකාවය. එයින් එකක් 'ෆයිසර්' එන්නත වන අතර අනෙක 'මොඩර්නා' එන්නතය. 'ෆයිසර්' සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ හවුලේය.
එන්නත් ඒකාධිකාරීත්වයක් පවත්වා නොගෙන, ලොව සෑම කෙනකුටම එන්නත් ලබා දීමට එන්නත් නිෂ්පාදනයට 'ෆයිසර්' සහ 'මොඩර්නා' සමාගම් කැමැත්ත පළ කර තිබේ.
එම සමාගම් එසේ කැමැත්ත පළ කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ඉල්ලීමකට අනුවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් බෙදා දීමට ආරම්භ කළේ 'කොවැක්ස්' වැඩසටහනයයි. ඒ, එන්නත් බෙදා දීමට 'යුනිසෙෆ්' සංවිධානයේ ද සහාය ලබා ගනිමිනි. කෙසේ නමුත්, ප්‍රමාණවත් එන්නත් නොලැබී ඇති බැවින්, 'කොවැක්ස්' වැඩසටහන අසාර්ථක වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
'කොවැක්ස්' වැඩසටහන හරහා, ලෝක සෞඛ්‍ය සංවිධානය, අප්‍රිකා රටවලට බෙදා දී ඇත්තේ එන්නත් මිලියන 40 ක් පමණි. එය සියයට දෙකක පමණ ප්‍රතිශතයකි. අප්‍රිකා මහද්වීපයේ ආසාදිතයන් දිනෙන් දින ඉහළ යයි. මෙය සැලකිල්ලට ගනිමින්, 'ෆයිසර්' සහ 'මොඩර්නා' සමාගම් ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා දකුණු අප්‍රිකාවේ විශේෂ එන්නත් කේන්ද්‍රස්ථානය පිහිටුවීම ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කළේ දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 131 කට එන්නත් නොමිලේ බෙදා දීමේ අරමුණින්ය.
'කොවැක්ස්' වැඩසටහනේ දී සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් නිෂ්පාදකයන්ගෙන් එන්නත් මිලදී ගෙන ඒවා බෙදා දීමය. ඊට අමතරව, ඇමෙරිකාව ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් ද ආධාර වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහනට එන්නත් ලැබීම සිදුවෙයි.
එසේ වුවත් ප්‍රමාණවත් ලෙස එන්නත් නොලැබීම හේතුවෙන් ක්‍රමාණුකූලව සහ නිසි වේලාවට එන්නත් බෙදා දීමට නොහැකි වී ඇති බවත් එම නිසා එන්නත්කරණ වැඩසටහන බරපතල ලෙස අර්බුදයකට ලක් වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කළේ ඉන්දියාවේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත යොදා ගනිමිනි.
කෙසේ නමුත්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය කිරීමට ඉන්දියාවේ 'සේරම්' සමාගම අපොහොසත් වීමත්, ඉන්දීය රජය එරට නිපදවන එන්නත් අපනයනය තාවකාලිකව නැවැත්වීමත් නිසා 'කොවැක්ස්' වැඩසටහනට ප්‍රමාණවත් අයුරින් එන්නත් නොලැබුණි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතේ පළමු මාත්‍රාව ලෙස එන්නත් ලබා දුන් රටවල් බොහොමයකට දෙවැනි මත්‍රාවක් ලබා දී නැත.
රොයිටර්