දීෂා පටානීට සුබ උපන් දිනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 13, 2021

දීෂා පටානීට සුබ උපන් දිනයක්

බොලිවුඩ් රුවැත්තී දීෂා පටානී අද (13)  29 වැනි උපන් දිනය සමරයි. දීෂා රංගනයට පිවිසියේ 2015 වසරේ තිරගත වූ 'ලොෆාර්' තෙලිගු චිත්‍රපටයෙනි. 

අද ඇය බහුලව දකින්න ලැබෙන්නේ හින්දි චිත්‍රපටවලින් පමණි. මේ වනවිට සල්මන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'රාදේ' චිත්‍රපටයේ දීෂාගේ රංගනය දැකගත හැකිය. 'භාරත්' චිත්‍රපටයෙන් පසු දීෂා පටානී, සල්මාන් ඛාන් සමඟ රංගනයෙන් එක්වුණු දෙවැනි චිත්‍රපටය මෙයයි‍. 
දීෂා හින්දි සිනමාවට පිවිසියේ 2016 වසරේ තිරගත වුණු 'එම්.එස්.දෝනි' චිත්‍රපටයෙනි. 

2017 වසරේ ජැකී චෑන්ගේ 'කුංග් ෆූ යෝග' චිත්‍රපටයට ද දීෂා එක්වූවාය. චෑන්ගේ 'කුංග් ෆූ යෝග' චීනයේ එදා මෙදා ආදායම් වාර්තා පිහිටවූ අති සාර්ථක චිත්‍රපටයකි. 

2018 වසරේ 'බාගී 2', 2019 වසරේ 'භාරත්' මෙන්ම 2020 වසරේ 'මලන්ග්' චිත්‍රපටවල පෙම්වතියගේ චරිතයට පණ පොවමින් දීෂා කැපී පෙනෙන රංගන ශිල්පිනියක් බවට පත් වූවාය. 
ආදිත්‍ය රෝයි කපූර් සමඟ 'මලන්ග්' චිත්‍රපටයට එක් වෙමින් ...
දීෂාට පළමුවෙන්ම සුබ පැතුවේ 'බාගී 2' චිත්‍රපටයේ ඇය සමඟ රංගනයෙන් එක්වුණු ටයිගර් ෂෙරොෆ්ය. ඒ, ඔහු දීෂා සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝ දසුනක් ඉන්ස්ටග්‍රෑම් හරහා ප්‍රසිද්ධ කරමිනි. ටයිගර් ෂෙරොෆ්ගේ මව අයේෂා ෂෙරොෆ් ද දීෂාට ඉන්ස්ටග්‍රෑම් හරහා සුබ පැතුවේ, ඇය සමඟ සිටින ඡායාරූපයක් ද පළ කරමින්ය. 
දීෂා පටානී උපන්නේ 1992 ජූනි 13 වැනිදා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බුරේලි දිස්ත්‍රික්කයේ බුරේලි නගරයේය. 

ඇය කුමාරෝනී වැසියෙකි. කුමාරෝනී යනු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ජනකොට්ඨාශයකි. රාජ්පුත් පෙළපතට ද දීෂා පටානීගේ සම්බන්ධයක් පවතී. 

දීෂාගේ උපන් දිනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත. ඇය 1992 ජූනි 13 වැනිදා උපන් බවටත්, 1995 ජූලි 27 වැනිදා උපන් බවටත් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. 
වැඩි දෙනාගේ පිළිගැනීම ඇය 1992 ජූනි 13 වැනිදා උපන් බවටය. රංගනයට පිවිසීමට පෙර දීෂා මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කළාය. 

දීෂාගේ පියා ජගදීෂ් සිං පටානී පොලිස් නිලධාරියෙකි. මව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියකි. දීෂාට වැඩිමල් සොයුරියක සිටී. ඇය කුෂ්බූ පටානී වන අතර ඇය ඉන්දීය හමුදාවේ ලුතිනන්වරියකි. සුර්යංෂා පටානී, දීෂාගේ බාල සොහොයුරාය. ඔහු ඉන්ජිනේරු විද්‍යාව හදාරයි. 

තමාගේ උපන් නම පටානී නොව, පට්නි බවත්, තමන් රංගනයට පිවිසෙද්දී පටානී ලෙස එය වෙනස් කළ බවත් දීෂා වරක් ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් පැවැසුවාය. 

දීෂාගේ මීලඟ සිනමා නිර්මාණය වන්නේ 'ඒක් විලන් 2' ය. අන්ජුන් කපූර් සහ ජෝන් ඒබ්‍රහම් ඊට සම්බන්ධ වී සිටිති. මේ අතර ඉන්දීය වෙබ් මාධ්‍ය බොහොමයක් දීෂාට සුබ උපන් දිනයක් පතමින්, ඇය රංගනයට පිවිසීමට කළ පළමු තිර පරීක්ෂණයේ වීඩියෝ දසුන් ප්‍රසිද්ධ කර තිබුණි.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom