G7 සමුළුව ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 11, 2021

G7 සමුළුව ඇරඹේ

'ජී7' රාජ්‍ය නායක සමුළුව, අද (11) ආරම්භ විය. මෙවර 'ජී7' සමුළුව පැවැත්වෙන්නේ මහා බ්‍රිතාන්‍ය කෝන්වෝල් ප්‍රාන්තයේ, සුන්දර වෙරළ තීරයකින් සමන්විත, 'කාර්බිස් බේ' නගරයේ 'කාර්බිස් බේ' නිවාඩු නිකේතනයේය. 

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, මහා බ්‍රිතාන්‍යය බලා පැමිණියේ ද මෙම 'ජී7' සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. 'ජී7' යනු ලෝකයේ ධනවත් මෙන්ම ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායක හවුලය. කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මහා බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව 'ජී7' කණ්ඩායමට අයත් වෙයි. යුරෝපා සංගමයේ ප්‍රධානිය ද 'ජී7' සමුළුවේ සාමාජිකයෙකි. 
මෙවර 'ජී7' සමුළුවේ ප්‍රධාන මාතෘකාව වූයේ 'කොවිඩ් 19' වසංගතයයි. මේ වනවිටත් ඇමෙරිකාව ඇතුළු 'ජී7' රටවල් ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන් හරහා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වී සිටී. 'කොවිඩ් 19' ලෝකයටම පොදු අර්බුදයක් බැවින්, එක් රටකට පමණක් තනිවම ආරක්ෂා වී සිටිය නොහැකි බවත්, කොරෝනා වසංගතය පැරදීමට නම් සෑම රටක්ම එකමුතු විය යුතු බවත් 'ජී7' නායකයන්ගේ අදහස විය. 

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සමුළුවට සහභාගී වීමට මහා බ්‍රිතාන්‍ය බලා පැමිණි අවස්ථාවේදී කියා සිටියේ, ඇමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිලදී ගෙන, ඒවා දිළිඳු රටවලට ප්‍රදානය කරන බවය. මේ වනවිට ප්‍රංශය, ජපානය ආදී රටවල් ද ඔවුන් සතු එන්නත් සෙසු රටවලට ලබා දීම සිදු කරයි. 

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහාය. සමුළුවට එක් වෙමින්, 'ජී7' නායකයන් සියලු දෙනා පොදුවේ තීරණය කළේ එන්නත් මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් මෙම වසරේත් ලබන වසර අවසන් වීමටත් පෙර ලෝකයේ එන්නත් අවශ්‍යතාව ඇති සෙසු රටවලට ලබා දීමටය. 

ඉදිරියේ දී ලෝකයට මුහුණ දීමට සිදුවන වයිරස වංසගත කෙරෙහි ද 'ජී7' නායකයන්ගේ අවදානයට ලක් විය. 'කොවිඩ් 19' අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු, දේශගුණික විපර්යාස, ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ද ලෝක නායකයන්ගේ අවධානය යොමු වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවල රාජ්‍ය නායකයන් ද ආරාධිතයන් ලෙස සමුළුවට සහභාගී වන්නේ ද සූම් තාක්ෂණය ඔස්සේය. 'ජී7' සමුළුව අනිද්දා (13) අවසන් වෙයි. මෙය 47 වැනි 'ජී7' සමුළුවය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom