'G7' කණ්ඩායමෙන් චීනයට අභියෝගයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 13, 2021

'G7' කණ්ඩායමෙන් චීනයට අභියෝගයක්

චීනයේ 'එක් මාවතක් එක් තීරයක්' සංවර්ධන වැඩසටහනට අභියෝග කරමින්, තමන් ද ලෝකයට නව ආර්ථික සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දීමට 'ජී7' කණ්ඩායමට අයත් ලෝක නායකයෝ තීරණය කළහ. 

චීනයේ 'එක් මාවතක් එක් තීරයක්' සංවර්ධන වැඩසටහනට හරහා ආසියාවේත් අප්‍රිකාවේත් දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් චීනයේ 'ගොදුරක්' වී ඇති බවත්, ඊට පිළියමක් ලෙස මෙම නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් 'ජී7' රටවල රාජ්‍ය නායකයෝ පෙන්වා දෙති. 'ජී7' යනු ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් හතේ එකමුතුවය. 

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය 'ජී7' කණ්ඩායමට අයත් සාමාජික රටවල්ය. 'ජී7' සමුළුව පසුගිය 11 වැනිදා මහා බ්‍රිතාන්‍ය කෝන්වෝල් ප්‍රාන්තයේ, සුන්දර වෙරළ තීරයකින් සමන්විත, 'කාර්බිස් බේ' නගරයේ 'කාර්බිස් බේ' නිවාඩු නිකේතනය කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ විය. 

සමුළුව අද(13) අවසන් වනු ඇත. මෙවර සමුළුවේදී ද ගෝලීය වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් කෙරෙහි 'ජී7' නායකයන්ගේ අවධානය යොමු විය. ගෝලීය වසංගතයක් නිර්මාණය කළ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා බිලියනයක ප්‍රමාණයක් මෙම වසරේත්, ලබන 

2022 වසරේත් ලොව එන්නත් අවශ්‍යතාව ඇති සියලු රටවලට බෙදා දීමට 'ජී7' නායකයෝ එකඟ වූහ. අනාගතයේ යළි මෙවැනි ගෝලීය වසංගතයක් ඇති නොවීමටත්, කල්තියා එවැනි වසංගත සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට සහ ඊට හදිසි ප්‍රතිචාර දැක්වීමටත් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ද එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවිය. 

ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු විදෙස් සංචාරය අරඹමින් මෙම සමුළුවට සහභාගී විය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩාර්ගී, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩෝ සූගා සහ යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වෝන් ඩර් ලින් සමුළුවට එක්වූහ. 

සමුළුවට සමගාමීව, රාජ්‍ය නායකයන් එකිනෙකා අතරේ සාකච්ඡා පැවැත්විණි. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතර පැවැති සාකච්ඡාව ඒ අතරින් කැපී පෙනෙයි. 

මහා බ්‍රිතාන්‍යය මේ වනවිට 'බ්‍රෙක්සිට්' ක්‍රියාවලිය සම්පූර්ණ කර, යුරෝපා සංගසමයෙන් ඉවත් වී ඇත. ප්‍රංශය, ජර්මනිය යුරෝපා සංගමයේ ප්‍රබල සංමාජිකයන්ය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් චෝදනා නගා ඇත්තේ මහා බ්‍රිතාන්‍යය 'බ්‍රෙක්සිට්' එකඟතාවට අදාල ගිවිසුමට අනුව කටයුතු නොකරන බවටය. ඒ අනුව මැක්රොන් සහ ජොන්සන් අතර මත ගැටුම් පවතී. දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ එවැනි තත්ත්වයක් යටතේය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom