![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0wQqCKZ2YFZvX_3-Em12jeSqmfM7YOHpzgAqQfzF-qNdgVg1QiQMaVSHTjxZgJwZnM-CaId9RjqRTo124ukLePuXkSx0EVtQG_SiaXFqJb0FHR6-QPMg-gTnJg_Rbi3GTpE1W-vGKF0B6/s16000/DSC_3650.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMip1SwUAkFqu5S1EuZ41xjgRMt97mBbUA5zOt7kHa65viY8GeKEy9eID_7rOPkf1XnEWKmvdv_pgNF_ei8j5KX-IzT2O5TqtozTiUHsKI3DnV5fKdKbcJ23fN86prgWQnw1Mj2UODvDC6/s16000/DSC_3762.jpg)
මෑත කාලීනව දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත වුන සෙම්බුවත්ත විල මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙම විල එක් දින සංචාරයකින් දැක බලා ගත හැකි වීම විශේෂ වන අතර ලංකාවේ පිහිටා ඇති අනෙකුත් විල් මෙන් නොව මෙය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද එකක් වීමද විශේෂයත්වයකි.
බ්‍රිතාන්‍යයන් විසින් තේ වගාව ආරම්භ කල සමයේ මෙම විල පිහිටි ප්‍රදේශය පෝලෝ ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කර ඇත. 1949 දී මෙම විල අසල තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමෙන් පසු විදුලි උත්පාදනය අරමුණු කර ගනිමින් මෙම විල ඉදිකර ඇත.
ජනප්‍රවාදයෙහි පැවත එන පරිදි, වරක් කර්මාන්ත ශාලා සේවකයෙකු විසින් ස්වභාවික උල්පත ආසන්නයේ තිබී පිත්තල සෙම්බුවක් සොයා ගැණුනි.
පසුව ඔහු එයත් රැගෙන රටින් පලා ගිය අතර පසු කාලීනව ඔහුගේ පුතා විසින් ස්වභාවික උල්පත ආරම්භ වූ ස්ථානයේ කෝවිලක් ඉදිකරවා ඇත.
ඉන් පසුව මෙම වත්ත සෙම්බුවත්ත ලෙස නම් ලැබූ බව ජනප්‍රවාදයෙන් පැවත එයි.
සෙම්බුවත්තට පිවිසෙන මාර්ගය එතරම් සුව පහසු නොවූවද, එහි අවසානයට ලඟා වන විට දුෂ්කර මාර්ගය සුන්දර ගමනාන්තයකින් කෙලවර වේය යන සුප්‍රසිද්ධ කියමන පසක් කරලයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcUDqlTqMLkFe2ZHybMjEo-qQ8Hps4DzdvegHHZJ_9aGqT1MOByeD6JPpw01umXgHb8UtQHH2xh5AULkBUeyJD-LlkGRKNCyC3psrc7bSL6LB_BcTBAqYXqBmOUXsitTQXyYYlbm2lLWLx/s16000/DSC_3584.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1ygBxRqeL5xjH-e4LS9nuddNBAXGN88ROLRbPZkUX8thV294iK8MOfqnvU7Z8XWU1csy6Z423-EPM6fheR08QG7LYbSEKw-bRJYdzZ1IVaR1DyiYfpUlsLnaSyz8kIE5GXyF-7G1iVmkh/s16000/DSC_3597.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipFpAJCw1bmXXguKGJFxf6TLRdHOld1jmgn8wibU1b_Td6Cm8LT9TeA2LA-Eu8qiklRqbltmYlw3OGV8cYl0aUSAntzIkIBtzsuyTzBEW1hQXihRPDN1HyhBtDLxJZs7Es-5raiUbFwG6P/s16000/DSC_3601.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWQOoNR-nWtgxc-ADn0pcVtezqrGvLV1GD2mzLAQ97VN2dMVy7ul7CysWkzRFFCcVE2zsUHNkYym1TWV3q7dOwt88aNnOmQTZxtqX54AzJdYj4ie6Jvz_ieiXfZhaVc72856YeKZAWImnq/s16000/DSC_3603.jpg)
පිවිසුම් මාර්ගය කෙතරම් දුෂ්කර එකක් වුව ද, තේ වතු යාය මැදින් දිවෙන එම මාර්ගයේ ගමන් විඩාව සෞම්‍ය සිසිල් දේශගුණය නිසාවෙන්ම මග හැරී යයි.
දැනට මෙම විල ඇල්කඩුව වැවිලි සමාගම සතුව පවතින අතර මෙම විල නැරඹීමට ප්‍රථම ඒ සඳහා අවසර පත්‍රයක් ලබා ගත යුතු වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxXqmtc48Qj-YR8eISa3QboMa6LieJKaij_tS6aFBxTxjx5dpII2os1p3i4RTkvTMMP4fU4mmL4yIP4BaGjqlR0VknL2c3UdqfAFjMr5bKBYCNfN9MSkFzOnzPR3LBDGmRnu4i2nvNgn_S/s16000/DSC_3738.jpg)
කඳු මුදුනක පිහිටා ඇති මෙම විල එක් පසකින් ෆයිනස් වගාවකින් ද, අනෙක් පසින් තේ යායකින් ද මැදි වී ඇත.
මෙම විල ස්වභාවික දිය දහරාවන්ගෙන් පෝෂණය ලබන අතර තවමත් මෙහි ජලයෙන් නිපදවන විදුලියෙන් මෙහි ඇති නිවෙස් ආලෝකමත් වේ.
මෙහි පිවිසෙන ඔබට බෝට්ටු සවාරියක් යෑමේ අවස්ථාව ද සලසා ගත හැකිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-aVIJ20B5DdZyGwYFLsIR0YvgmakHOH6UL8WJB6McNveKCoUtjAYTnQEnmrIoUKf3MyhSojKvAVMU7VMwP1aQ9wOhbeadaYnLc8kqy5nO7Ycc6Gn4RTFd2kZou6Wy3RLye9013oPLF2ko/s16000/DSC_3767.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje1kiSNb2EQToP0avV7catNxdIffq3x5GHMt5VHKqqyk-1IjYGeND_I5mkEoJvfki1YBefoc8yu3akIRp41jPuv99B4bGvZFHSR2Lot0MGSK1ToSZg4JJYwXkfevOxKNKQaqfx67_jZ5Fw/s16000/DSC_3819.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjc836KA24QOpzZ6uNW0wdkrgKvLdDZuwxzKF5kRMRV-eQSD0GgfNtBochW4jENGbq4F_aw5n29RQY0XNLRfQrtm2VjZhjkG25R-pt-KY07l9HN6gfVlDbcRIxQ6RX6qRYDpVG5Bf95ndw7/s16000/DSC_3861.jpg)
මෙම ප්‍රදේශය 2005 වර්ෂයේ සිට සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වූ අතර ඒ සඳහා එහි ඉදිවූ සංචාරක නිවාසය සහ පිහිනුම් තටාකය මහත් පිටුවහලක් විය.
මෙහි ලඟා වූ අපට දැක ගත හැකි වූයේ පොලිතින්, ප්ලාස්ටික් වතුර බෝතල්, ආහාර දවටනයන්ගෙන් අපවිත්‍ර ව තිබු විල් ඉවුරය.
නැවත කොළඹ බලා එන ගමනේදී ඇබර්ඩීන් දිය ඇල්ලේ පහස විඳීමට ද අපි අමතක නොකළෙමු.
මෙම විලෙහි සුන්දරත්වය මතු පරපුරට ද දැක ගනු වස් සංරක්ෂණය කිරීම මෙහි පිවිසෙන ඔබගේත් මගේත් වගකීමක් වනු ඇත.
සටහන සහ සේයා රූ
෴ තනූජා කරුණාරත්න