ජාත්‍යන්තර සම්මාන ලාභී තරුණ පරපුරේ නිර්මාණශීලී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ද වන ලංකා බණ්ඩාරනායක නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ ‘මහසෝනා’ කෙටි චිත්‍රපටය ප්‍රංශයේ කීර්තිමත් විශිෂ්ට සිනමා උළෙලක් වන කාන්ස් සිනමා උළෙලේ මෙවර කාන්ස් කෝනර් අංශය නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ.
මෙය ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන චරිතය ළමා නළු හේසර රශ්මිත කපුගේ නිරූපණය කරයි. මෙය ඔහුගේ පළමුවැනි සිනමා රංගනය වේ. ඊට අමතරව, හේසර සමග නිශ්මන් රණසිංහ, අසංක සායක්කාර, අමරදාස පෙරේරා, කුමුදු කුමාරසිංහ හා අමිල කොඩිතුවක්කු මෙහි රංගනයෙන් දායක වෙති.
කැමරාකරණයෙන් චානක විජේමුණි, සංස්කරණය හා ශබ්ද නිර්මාණයෙන් නන්දා නන්දි ජයකොඩි, වේශ නිරූපණයෙන් ප්‍රේම්ජයන්ත කපුගේ සහාය අධ්‍යක්ෂණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, නිෂ්පාදන කළමනාකරණයෙන් හිමාෂි මොරිස්, කලා අධ්‍යක්ෂණයෙන් ලක්මා වීරසේකර, තිර රචනයෙන් රන්සිරි පෙරේරා හා ලංකා බණ්රනායක මහසෝනා කෙටි චිත්‍රපටයට දායක වී සිටිති.
තම නිර්මාණ ලොව ඉහළම සිනමා උළෙලකට තේරීම පිළිබඳවත් මෙරට කෙටි චිත්‍රපට කලාවට ඇති තැන හා දේශීය සිනමාවේ හෙට දවස පිළිබඳවත් අපි අධ්‍යක්ෂිකා ලංකා බණ්‍ඩාරනායකගෙන් කරුණු විමසුවෙමු. මේ එහිදී ඇය දැක්වූ අදහස්වල සටහනයි.
''මගේ නවතම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය මහසෝනා මෙවර ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ කාන්ස් කෝනර් අංශයේ නියෝජනය කරනවා. චිත්‍රපටයෙන් කතා කරන්නේ ඓතිහාසික සාම්ප්‍රදායික මිථ්‍යා විශ්වාස මත එල්බ ගන්න ශ්‍රී ලාංකික සමාජය වර්තමාන නවීන මානව සමාජීය ගැටලු විසඳා ගැනීමටත් එම මිථ්‍යාවේම පිහිට පතනකොට එම සමාජයේ ජීවත්වන ළමයින් එයින් වඩාත්ම දුක්ඛිත තත්ත්වයට ඇද දැමෙන්නේ කොහොමද කියන එක ගැනයි.
ඕනෑම නිර්මාණකරුවෙක්/කාරියක් චිත්‍රපටයක් කරන්නේ ප්‍රේක්ෂකාගාරයක් වෙනුවෙන් ඒ චිත්‍රපටයට පාදක වෙන සමාජ දේශපාලනික කාරණා ගැන සජීවී සංවාදයක් වෙනුවෙන් උළෙලකට චිත්‍රපටයක් තේරෙනවා කියන්නේ අපට වෙනමම පුද්ගලිකව උත්සාහ කරන්න බැරි ප්‍රේක්ෂකාගාරයකට චිත්‍රපටය ගෙනියන්න ලැබෙනවා කියන එකයි. ඒ වගේම ඒ ලැබෙන අවධානය නිසා තවත් කීප තැනක චිත්‍රපටය පෙන්න ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂකාගාරය වැඩිවෙනවා.
ඒ අර්ථයෙන් මේ උළෙලට මගේ චිත්‍රපටය තේරීම ගැන මම සතුටුවෙනවා.
ලංකාවේ හොඳ කෙටි චිත්‍රපට ගොඩාක් හැදෙනවා. මම රංගන ශිල්පිනියක් විදිහටත් වැඩ කරන නිසා ගොඩාක් අලුත් දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණකාරිනියන්ගේ කෙටි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. මේ නිර්මාණ බොහොමයක් කවුරුවත් දකින්නේ නෑ, කෙටි චිත්‍රපට වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයක් නැතිකම ලංකාවේ ලොකු අඩුවක්. ඒක ගැන ඇත්තටම කනගාටුයි.
මම 1998 වසරේ ඉඳලා රංගන ශිල්පිනියක් හා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් විදිහට නිර්මාණවලට දායක වෙලා තිබුණත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 2016 වසරේදී ඒ සම්ප්‍රදාය කියන කෙටි චිත්‍රපටය හරහා. ඒ කෙටි චිත්‍රපටය කළාට පස්සේ මට පැමිණි ප්‍රශ්නය තමයි මේක. දැන් මම කොහේද පෙන්වන්නේ කියන එක ඊට පස්සේ තමයි මම අන්තර්ජාතික සිනමා උළෙලවලට යන්න උත්සාහ කළේ.
ඒ උත්සාහය සිතුවේ නැති විදිහට සාර්ථක වුණා. චිත්‍රපටය අන්තර්ජාතික උළෙලවල් 50 කට ආසන්න ප්‍රමාණයක පෙන්නන්න අවස්ථාව ලැබුණා. වගේම සම්මාන කිහිපයක් ද දිනා ගන්නත් පුළුවන් වුණා.
ඒ ලැබුණු අවධානය නිසා ලංකාවෙන් ගොඩාක් අවස්ථා ලැබුණා. චිත්‍රපටය පෙන්වා ගන්න මේ වන විට මම කෙටි චිත්‍රපට 5 ක් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
මගේ කෙටි චිත්‍රපට සියල්ලම මගේ පුද්ගලික මහන්සියෙන් ප්‍රේක්ෂකාගාර සොයා ගෙන ගිහින් පෙන්නුවේ. ඒත් හැම නිර්මාණකාරියකටම එහෙම කරන්න පුළුවන්කමක් නෑ. ඒ වගේම දීර්ඝ චිත්‍රපට වගේ කෙටි චිත්‍රපටයක් තනිවම සිනමාශාලාවක ප්‍රදර්ශනය කරන්න හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසා කෙටි චිත්‍රපට වෙනුවෙන් වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු වෙනවා.
ලෝකයේ බොහෝ රටවල කෙටි චිත්‍රපට වෙනුවෙන්ම විතරක් උළෙලවල් වාර්ෂිකව පැවැත්වෙනවා. සිනමාශාලාවල දීර්ඝ චිත්‍රපට සමග කෙටි චිත්‍රපටත් පෙන්වන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව චිත්‍රපට නරඹන්න කැමැති අය වෙනුවෙන් විවිධ රටවල්වල පුස්තකාල වෙනමම අංශ පවා පිහිටලා තියෙනවා. ඒවා ප්‍රායෝගිකව ඕනෑම රටකට තමන්ගේ රටේ චිත්‍රපට රසිකයන් වෙනුවෙන් කළ හැකි දේවල්.
ඒත් ලංකාවේ අතරින් පතර කෙරෙන උළෙලවල් කිහිපයක් හැරෙන්න වෙන කිසිම විදිහකින් චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය පුළුල් කිරීම වෙනුවෙන් වැඩ පිළිවෙළක් නැති එක ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
එහෙම වැඩපිළිවෙළක් නැතිකම නිසා ලංකාවේ බොහොමයක් තරුණ දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණකාරිනියන්ට තමන්ගේ නිර්මාණවලට ප්‍රේක්ෂකාගාරයකට ගෙනියන්න හැකිවෙලා තියෙනවා. ඒ නිසා විධිමත් වැඩපිළිවෙළක් කෙටි චිත්‍රපට වෙනුවෙන් ලංකාවේ ඇති කරන්න පුළුවන් නම් තවත් ගොඩාක් හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙන්න ඒක උදව්වක් වෙයි. ''
සමන්ත යහම්පත්
උපුටා ගැනීම - ලංකාදීප රසවින්ඳන