අබිරහසක්ම වුණු 'කොවිඩ් 19' සුලමුල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Jul 30, 2021

අබිරහසක්ම වුණු 'කොවිඩ් 19' සුලමුල

අද ලොව ලොකුම අබිරහස වී ඇත්තේ ද අපට හිසරදයක් වුණු 'කොවිඩ් 19' වයිරසයයි. 'කොවිඩ් 19' සතුන් හරහා මිනිසුන්ට බෝවන 'කොරෝනා' නමැති වයිරස පවුලේ වයිරසයක් බව තහවුරු වී තිබේ. ඒ ගැන අබිරහසක් නැත. අබිරහස වයිරසයේ මූලාරම්භයයි. 

මේ වනවිට 'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය, දේශපාලනීකරණයට ලක් වී ඇත. ඇමෙරිකාවත්, චීනයත් අතර දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් ද පවතින නිරවි යුද්ධයට මාතෘකාව වී ඇත්තේ 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භයයි. 

වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල වෙද්දී, චීනය, එරට වැසියන් මිලියන 11 ක අත්සනින් යුත් පෙත්සමක් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර තිබේ. ඒ, වයිරසයේ ආරම්භය සිදුවූයේ චීන රසායනාගාරයකින් නොව ඇමෙරිකානු හමුදා රසායනාගාරයකින් යැයි පෙන්වා දෙමිනි.

මෙම රසායනාගාරය පිහිටා ඇත්තේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ෆෝට් ඩෙට්රික් හමුදා කඳවුරේය. ජීව රසායනික අවි නිර්මාණය සඳහා ඇමෙරිකන් හමුදාව වයිරස අත්හදා බැලීම්වලට යොදා ගන්නේ මෙම ෆෝට් ඩෙට්රික් හමුදා කඳවුරේ ඇති රසායනාගාරයයි. 2019 ජූලි මාසයේ, මෙම කඳවුර ආශ්‍රිතව වාසය කළ බොහෝ දෙනෙකු ශ්වසන ආබාධවලට ලක් වුණු බවත් නියුමෝනියා‌ තත්ත්වයට පත්වුණු බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

ජූලි මාසයේ කඳවුර හදිසියේ වසා දැමීමට සිදුවූයේ කඳවුර අසල සාත්තු නිවාස දෙකක පුද්ගලයන් ද රෝගී වූ නිසා බව ඇමෙරිකා වසංගත රෝගපාලනය සහ වළක්වා ගැනීමේ ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 

චීන වැසියන් මිලියන 11, ඔවුන්ගේ පෙත්සම හරහා පෙන්වා දී ඇත්තේ, 'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය ගැන ලෝකයාට දැනගැනීමට අවශ්‍ය නම්, ඒ බව ඇමෙරිකාවෙන් අසා දැනගන්නා ලෙසත්, මේරිලන්ඩ් ප්‍රාන්තයේ ෆෝට් ඩෙට්රික් හමුදා කඳවුරේ සිදුවුණේ කුමක්දැයි යන්න වහා සොයා බැලිය යුතු බවත්ය. 

'කොවිඩ් 19' වයිරසය ගැන පළමුවෙන් අපට අසන්න ලැබුණේ 2019 දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. දරුණු නියුමෝනියා තත්ත්වයකට ලක්වීමෙන් වූහාන් වැසියෝ බුරුතු පිටින් මිය යන්න පටන් ගත්හ. පැතිර යන්නට වූ වයිරසයේ 'සාර්ස්' වයිරසයේ ගති ලක්ෂණ සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය.

නව වයිරසය කොරෝනා වයිරස පවුලට අයත් බව සැක හැර දැන ගැනීම සිදුවිය. සාර්ස් යනු 2002-2004 අතර කාලයේත් ඉන්පසු 2017 වසරේදීත් චීනයෙන් හිස එසවූ 'කොරෝනා' වයිරසයයි. මෙම වයිරසය හැඳින්වෙන්නේ SARSr-CoV1 යනුවෙනි. 

සාර්ස්, වයිරසය මිනිසුන්ට ආසාදනය වූයේ වවුලන් සහ අඳුන් දිවියන් හරහා බව සැක හැර දැන ගැනීමට චීන විද්‍යාඥයෝ සමත් වූහ. සාර්ස් වයිරසයේ මූලාරම්භය චීනයේ යූනාන් පළාතේ සියැං යී නගරය කේන්ද්‍රකොට ගනිමින් බව ද තහවුරු විය. 'සාර්ස්' වයිරසයේ ගති ලක්ෂණ මෙන්ම රෝග ලක්ෂණ ද පෙන්නුම් කරන බැවින් චීන විද්‍යාඥයන් 'කොවිඩ් 19' වයිරසය හඳුන්වා ඇත්තේ SARSr-CoV2 ලෙසය. 

2019 දෙසැම්බරයේ වූහාන් නුවර මත්ස්‍ය සහ මස් වෙළෙඳපොළ කේන්ද්‍ර කොට ගනිමින් වයිරස ව්‍යාප්තිය ආරම්භ වුණු බව චීන විද්‍යාඥයෝ පවසති. චීන විද්‍යාඥයන්ට අනුව, වයිරසය වවුලන්ගෙන් ආරම්භ වී, කබල්ලෑවන් හරහා මිනිසුන්ට බෝ වී, ඉන්පසු මිනිසුන් අතරේ පැතිරෙන්න ඇති බවට සැක කෙරේ. 

කෙසේ නමුත් එය සැකයක් පමණි. තහවුරු වී නැත. චීන හමුදාවට අයත් වයිරස අධ්‍යයන රසායනාගාරයක් ද වූහාන් නුවර පිහිටා ඇත. මෙය ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස ද හැඳින්වෙයි. 

වෛද්‍ය පර්යේෂණ සඳහාත්, චීන හමුදාව ජීව රසායනික අවි නිර්මාණය සඳහාත් වයිරස වර්ග ගබඩා කර තබා ගැනෙන්නේත්, එම වයිරස විවිධාකාරයේ අත්හදා බැලීම්වලට යොදා ගනු ලබන්නේත් මෙම රසායනාගාරය තුළදීය. 

රසායනාගාරය පිහිටා ඇත්තේ වයිරස ව්‍යාප්තියේ ආරම්භය සිදුවුණැයි සැක කරන මත්ස්‍ය හා මස් වෙළෙඳපොළට නුදුරිනි. 'කොවිඩ් 19' වයිරසය, වූහාන් රසායනාගාරයේදී නිපදවන ලද්දක් බවටත්, එය අත්වැරදීමකින් හෝ හිතාමතා හෝ පරිසරයට මුදා හැරෙන්නට ඇති බවටත් සැකයක් මතුවීම සාධාරණය. මෙම සැකය මතු කළේ ඇමෙරිකන් සහ ඕස්ට්‍රේලියන් බුද්ධි අංශ ය.

අද ඇමෙරිකාව සහ චීනය අතර පමණක් නොව, චීනය සහ ඕස්ට්‍රේලියාව අතරේ ද අර්බුදයක් පවතින්නේ මේ නිසාය. මෙම සැකය දිගින් දිගට වර්ධනය වෙද්දී, වයිරසය ආරම්භයේ දී එහි චීනය සමඟ එක් වී එහි සැබෑ ස්වරූපය ලොවට වසං කළේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට දෝෂාරෝපණ එල්ල විය. 

එවකට ඇමෙරිකාවේ පැවැතියේ ට්‍රම්ප් පරිපාලනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනා කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ආධාර ලබා දීම වහා නවතා දැමීය. 

ට්‍රම්ප් ගත් එම තීරණය වත්මන් ජනාධිපති ජෝ බයිඩන් වෙනස් කළේය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වයිරසයේ සුලමුල දැන ගැනීමට තමන්ට අවශ්‍ය බව දිගින් දිගටම බයිඩන් පෙන්වා දුන්නේය. 'කොවිඩ් 19' රෝගීන් චීනයේ වැඩිවෙද්දී, චීනයේ විවිධ පළාත්වලින් වයිරස ආසාදිතයන් වාර්තා වෙද්දී, ඒ ගැන බිය පළ කරමින්, අනතුරු අඟවමින් සංචරණ සීමා පනවමින්, විදේශවලින් පැමිණෙන සියලු මගීන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සෙසු රටවලට දැනුම් දී තිබුණා නම්, 'කොවිඩ් 19' වයිරසය ගෝලීය වසංගතයක් නොවීමට ඉඩ ඇත. 

බොහෝ දෙනාගේ අදහස මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිසංස්කරණවලට ලක් විය යුතු යැයි රටවල් බොහොමයක් යෝජනා කර ඇත්තේ ද මේ නිසාය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසර මුලදී, ජගත් විමර්ශන කණ්ඩායමක් චීනයේ වූහාන් බලා යැවීය. ඔවුන් වූහාන් ගියේ වයිරසයේ මූලාරම්භය ගැන සෙවීමටය. 

චීන රජයේ අනුග්‍රහය මෙම විමර්ශන කණ්ඩායමට ලැබුණු බව පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම අයත් විවිධ රටවල් නියෝජනය කළ විද්‍යාඥයෝ වූහාන් වයිරස රසායනාගාරයට ගොස් එය නිරීක්ෂණයට ලක් කළහ. 

'කොවිඩ් 19' ආරම්භය එම රසායනාගාරයෙන් හෝ මත්ස්‍ය සහ මස් වෙ‍ළෙඳපොළෙන් හෝ සිදුවුණාදැයි යන්න සැක සහිත යැයි එම විමර්ශන කණ්ඩායම පසුව ඔවුන්ගේ වාර්තාව හරහා පෙන්වා දුන්නේය. චීනයෙන් වාර්තා වූ මුල්ම ආසාදිතයන් ගැනත්, රැස්කර ගත් මුල්ම විශ්ලේෂණය නොකළ වෛද්‍ය වාර්තා සහ පර්යේෂණ දත්ත තමන්ට දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම චීනයෙන් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එවැන්නක් සිදු වී නැත. 

 මේ අතර, චීනයේ උදහසට ලක්වී, පිහිටුවහලුන් ලෙස විදේශවල සිටින චීන විපක්ෂ ක්‍රියාකාරීන් මීට සතියකට පමණ පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කළේ යළිත් වරක් වයිරසයේ ආරම්භය සොයා පුළුල් විමර්ශනයක් පැවැත්වීම කළ යුතු බවය. චීන විපක්ෂ ක්‍රියාකාරීන් මෙම ඉල්ලීම කළේ ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල පෙලඹවීම අනුව යැයි එම විරෝධයට දැඩි අප්‍රසාදය පළ කරමින් චීන රජය පැවැසීය. 

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය ගැන ඇමෙරිකාවෙන් අසා දැනගන්නැයි පවසමින්, චීන රජය එරට වැසියන් මිලියන 11 කගේ අත්සනින් යුත් පෙත්තමක් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළේ ඉන් පසුවය. 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ එය වෛද්‍ය රසායනාගාරයකින් කාන්දුවීමකින්දැයි සිතුවිල්ල කිසිම අවස්ථාවක තමන් බැහැර කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පමණක් නොව, වසංගත රෝග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍යවරුන් පවා පවසා ඇත. 

චීන වැසියන්ගේ පෙත්සමත් සමඟ 2019 වසරේ ඇමෙරිකාවේ ෆෝට් ඩෙරික් හමුදා කඳවුරේ සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනකු තුළ කුතුහලයක් නිර්මාණය වී ඇත. 

2019 ජූලි මාසයේ ෆෝට් ඩෙරික් හමුදා කඳවුර සහ රසායනාගාරය කිසිදු පැහැදිලි කිරීමකින් තොරව හිටිහැටියේ වසා දැමීමත් ඉන්පසු කඳවුරට සම්බන්ධ සහ කඳවුර අවට පුද්ගලයන් රැසක් හිටිහැටියේ නියුමෝනියාවෙන් පීඩා විදීමත් සැකයට බදුන් වෙයි. රෝගී වූවන්ගේරෝග ලක්ෂණ 'කොවිඩ් 19' රෝග ලක්ෂණවලට බෙහෙවින් සමානය. 

 එසේ නම් 'කොවිඩ් 19' ලෙස අද අප හඳුන්වන මෙම මාරක වයිරසය කාන්දුවීමක් සිදුවූයේ වූහාන් නුවර පිහිටි චීන හමුදා රසායනාගාරයෙන් නොව, ෆෝට් ඩෙරික් කඳවුරේ හමුදා රසායනාගාරයෙන්ද? 

ෆෝට් ඩෙරික් කඳවුර රහස් වසං කර ගත් තැනකි. කඳවුරේ සිදුවන දේවල් ගැන දන්නේ ඇමෙරිකන් හමුදාව පමණි. ඇමෙරිකන් රජය පවා ඒ ගැන දන්නේ නැත. ජීව අවි ලෙස යොදා ගත හැකි වයිරස පමණක් නොව බැක්ටීරියා ද මෙම රසායනාගාරයේ ගබඩා කර ඇත. 

'කොවිඩ් 19' ජීව අවියක් නම්, එය මේ වනිවට රටවල් බොහොමයක් බොහොම පහසුවෙන් අඩපණ කර තිබේ. ජීව අවියක අරමුණ වන්නේ යුද්ධයකින් තොරව රටවල් අඩපණ කිරීමය. 

බිලියන ගණනක් පෙත්සම් ඉදිරිපත් කළත්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොතරම් බලපෑම් එල්ල වුවත්, ඇමෙරිකාව කිසිම අවස්ථාවක ෆෝට් ඩෙරික් කඳවුරේ සිදුවන්නේ කුමක්ද සහ එහි ඇති වයිරස ගැන ලොවට හෙළි කරන්නේ නැත. 

ඒ, එසේ කිරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවිනි. අවසානයේ එක් දෙයක් පැහැදිලිය. අපේ ජීවිත උඩු යටිකුරු කළ 'කොවිඩ් 19' වසංගතයේ සුලමුල අපට කිසිදා දැනගැනීමට නොලැබෙනු ඇත. 

෴ උපුටා ගැනීම - AFP

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad