ඉන්දියාව විදෙස් නිලධාරීන් ගැන ඔත්තු බලලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2021

ඉන්දියාව විදෙස් නිලධාරීන් ගැන ඔත්තු බලලා

ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ 'පෙගසස්' නමැති මෘදුකාංග භාවිතයට ගනිමින්, ඉන්දීය රජය සහ එරට බුද්ධි අංශ 2017 වසරේ සිට මේ දක්වා නවදිල්ලි අගනුවර විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන ඔත්තු බැලීම් සිදු කරන බව ප්‍රංශයේ 'ල මොන්ද්' පුවත්පත උපුටා දක්වමින්, ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ස්මාර්ට් ෆෝන් දුරකතන ඔස්සේ, රටවල් කීපයක්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, නීතීඥවරුන්, සමාජ සහ විපක්ෂ ක්‍රියාකාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු බොහෝ දෙනකු පිළිබඳ ඔත්තු බලන බව තහවුරු වූයේ ඊයේ (19) ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' සහ මහා බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' යන පුවත්පත් කළ අනාවරණයකින් පසුවය. 

ප්‍රංශයේ 'ල මොන්ද්' පුවත්පතට අනුව, ඉන්දියාව, නවදිල්ලියේ රැදී සිටින ඇෆ්ගන්, ඉරාන, චීන, පාකිස්තාන සහ නේපාල තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ගැන ඔත්තු බැලීම් සිදු කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2017 දී ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවුණු අතර, ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ වී ඇත්තේ එම හමුවෙන් පසුව යැයි 'ල මොන්ද්' පුවත්පත පෙන්වා දෙයි.

'ල මොන්ද්' පුවත්පත වැඩිදුරටත් අනාවරණය කර ඇති අන්දමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජංගම දුරකතනයක් ද 'හැක් කරමින්' (අනවරයෙන් ඇතුළුවී) ඔහු ගැන ඔත්තු බැලීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කර ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රමාත්‍යවරයා කිසිවක් පවසා නැති බව 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබේ. 

කෙසේ නමුත් පාකිස්තාන රජය කියා සිටියේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ස්මාර්ට් ෆෝන් දුරකතනයට අනවසරයෙන් කවුරුන් හෝ ඇතුළුවී ඇතැයිදැයි සෙවීමට විශේෂ විමර්ශනයක් කඩිනමින් ආරම්භ කළ බවය. හින්දු පුවත්පතේ මාධ්‍යවේදීන්ගෙන් එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් විමසීමක් කළත්, ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත. 

මේ අතර, මේ වනවිට ලොව කාගේත් කතාබහට ලක්වී ඇති ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගම පවසා ඇත්තේ ඔවුන්ගේ සේවා ලබා දීම සහ මෘදුකාංග අලෙවිය සිදුවන්නේ ඊශ්‍රායල රජය හරහා සේවා අවශ්‍ය රටවල බුද්ධිඅංශ වෙත පමණක් බවය. එසේ සේවා සැපැයීම නීති විරෝධී ක්‍රියාවක් නොවන බවත් එන්.එස්.ඕ. ගෲප් සමාගම පැහැදිලි කර තිබේ. 

'පෙගසස්' යනු ඊශ්‍රායලයේ නිෂ්පාදිත මෘදුකාංගයකි. මෙය කෙටි පණිවුඩ හෝ අනවශ්‍ය ආකාරයේ ඊ මේල් පණිවුඩයක් ලෙස ස්මාට් ජංගම දුරකතනයට ඇතුළු වී, එම දුරකතනය හිමිකරුගේ සියලු දත්ත ලබා ගැනීම සිදු කරයි. 'ෆේස්බුක්', 'වයිබර්' ආදී සමාජ මාධ්‍යවලට ද නොදැනුවත්වම ඇතුළු වී, ජංගම දුරකතනයේ හිමිකරු හිතවත්කම් පවත්වන්නේ කවුරුන් සමඟ ද යන්න පිළිබඳ විස්තර සොයා බැලීම සිදු කරයි. 

මේ සියල්ල සිදුවන්නේ හොර රහසේය. ඊශ්‍රායලයේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ සේවය ලබා ගනිමින්, 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ඔත්තු බැලීම් සිදු කළ පුද්ගලයන් අතර, ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, අරාබි රජ පවුලේ සාමාජිකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රබලයන් ආදිය සිටින බව මේවනවිට අනාවරණය වී ඇත. 

'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගන්නා රටවල් ලෙස බව තහවුරු වී ඇත්තේ ඉන්දියාව, අසර්බයිජානය, බහරේනය, සෞදිය, කසක්ස්තානය, හංගේරියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, රුවන්ඩාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. 

 මේ සියලු විස්තර ඊයේ (19) ලොවට හෙළි කළේ කළේ ඇමෙරිකාවේ 'වොෂින්ටන් පෝස්ට්' සහ බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' යන පුවත්පත්ය. 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතට අනුව, 'පෙගසස්' මෘදුකාංගය හරහා ස්මාට් ජංගම දුරකතන 37 ක් හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) තිබේ. 

'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදීන් ගැනත් 'ඒ.එෆ්.පී', 'රොයිටර්', 'අල් ජසීරා', 'ද ගාඩියන්' සහ 'ල මොන්ද්' ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් සහ විද්‍යුත් පුවත් නාළිකාවල මාධ්‍යවේදීන් ගැනත් 'පෙගසස්' මෘදුකාංගය මගින් ඔත්තු බැලීම් සිදු කර තිබේ. 

'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගත් රටවල් බවට තහවුරු වී ඇත්තේ 2016 වසරේ සිට මේ දක්වා එන්.එස්.ඕ. ගෲප් සමාගම පුද්ගලයන් 50,000 ක් ගැන ඔත්තු බලමින් සිටින බව 'ද ගාඩියන්' පෙන්වා දී තිබේ. 'වොෂින්ටන් පෝස්ට්' සහ 'ද ගාඩියන්' පුවත්පත් මේ බව අනාවරණය කළේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගත් රාජ්‍ය සංවිධානයක් වන 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය ලබා දුන් තොරතුරු අනුවය. 'ෆොබිඩන් ස්ටෝරීස්' ආයතනය තොරතුරු ලබා ගත් ආකාරය මෙතෙක් හෙළි වී නැත. 

 මේ අතර, 2018 වසරේ 'වොෂින්ටන් පෝස්ට්' පුවත්පතේ මාධ්‍යවේදියකු ද ලෙස කටයුතු කළ ජමාල් කශොග්ජී ඝාතනය වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය ගැනත් පවුලේ සෙසු සාමාජිකයන් ගැනත් 'පෙගසස්' මෘදුකාංගය හරහා ඔත්තු බැලීම් සිදුවූ බව මේ වනවිට තහවුරු වී තිබේ. 

ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යවේදියකු වන අතර, ඔහු ඝාතනය වූයේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කළ බැවින් යැයි පැවැසෙයි. කෙසේ නමුත් එල්ල වන චෝදනා කුමරු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

The Hindu

Classified_Ad

Classified_Ad_News_Bottom