කොරෝනා සනීප කරන්න බෙහෙත් එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 14, 2021

කොරෝනා සනීප කරන්න බෙහෙත් එනවා

'කොවිඩ් 19' වයිරසයට බිය වුණු කාලය අවසන් යැයි කීමට කාලය එළැඹෙමින් පවතී. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සාර්ථක එන්නත්කරණයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද හදිසි භාවිතයට අනුමැතිය හිමිවුණු ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා ලබා දීමයි. එන්නත් ලබා දෙන්නේ 'කොවිඩ් 19' වයිරසයෙන් බේරීමටය. 

එහෙත්, 'කොවිඩ් 19' වයිරසය විකෘති වෙද්දී, එවැනි විකෘති එන්නත්වලින් මට්ටු කිරීම අසීරුවෙයි. එසේ වුවත්, අනුමත කළ එන්නතක නියමිත මාත්‍රා ලබාගෙන ඇති නම්, 'කොවිඩ් 19' වයිරසයේ සංකූලතාවලින් බේරීමටත්, මරණයට පත්වීමට ඇති ඉඩ අවහිර කිරීමටත් එන්නත්වලට හැකියාව ලැබේ. එහෙයින් 'කොවිඩ් 19' වයිරසයට එරෙහි හොඳම ආරක්ෂාව එන්නත්කරණයයි.

'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේ ය. පළමු ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ ගති ලක්ෂණ 'සාර්ස්' වයිරසයේ දිගුවක් වැනි විය. 'සාර්ස්' යනු මීට වසර කීපයකට පෙර චීනයෙන් හිස එසවූ කොරෝනා වයිරසයකි. ඒ අනුව, මෙම නව වයිරස කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයා බව තහවුරු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය එය 'කොවිඩ් 19' යනුවෙන් නම් කෙරුණි. කොරෝනා වයිරසයක් බව තහවුරු වුවත් 'කොවිඩ් 19' වයිරසයේ සුලමුල තවමත් ලොවට අබිරහසකි.

'කොවිඩ් 19' ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, එය අඩපණ කිරීමට එන්නතක් සොයා ගැනීමේ තරගයක් පැවැතිණි. ඒ අතරතුරේ, මෙ‍ෙතක් නිපදවා ඇති, නිපදවමින් පවතින සහ පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ කොරෝනා රෝගීන්ට ලබා දෙමින් ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමටත්, ඔවුන් මරණින් ගලවා ගැනීමටත් වෛද්‍ය පර්යේෂකයෝ උත්සහ ගත්හ.

එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස විවිධාකාරයේ ඖෂධ වර්ග කොරෝනා රෝගීන් සඳහා නිර්මාණය විය. අද වනවිට, එනම් 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වී වසර දෙකක් පමණ ගතවෙද්දී, කොවිඩ් රෝගීන් සුවපත් කිරීමට පෙති, කරල්, ඉන්හේලර් (ආඝ්‍රානක) සහ නේසල් ස්ප්‍රේ (නාසික දියර ඉසින) කරළියට පැමිණ ඇත. ඉදිරියේ දී, බොහෝ දුරට ලබන වසර වෙද්දී, 'කොවිඩ් 19' සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක තත්ත්වයට පත් වනු ඇති බවත්, රෝගීවූවන්ට නිවසේදී මෙම ඖෂධ ලබා ගෙන රෝගයෙන් මිදීමට හැකිවනු ඇති බවත් 'ඉන්සයිඩර් සයන්ස්' වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මේ පෙති, කරල්, ඉන්හේලර් සහ නාසික දියර කරළියට පැමිණීමට පෙර, ආරම්භයේ දී 'කොවිඩ් 19' රෝගීන් සුවපත් කිරීමට බටහිර රටවල් (විශේෂයෙන් ඇමෙරිකාවේ) ඖෂධ වර්ග කීපයක් භාවිතයට ගැනුණි. එම ඖෂධ කැනියුලාවක් මගින් ඇතුළු කළ යුතු හෝ එන්නත් කළ යුතු විය. එපමණක් නොව, එය රෝහලක වෛද්‍ය අධීක්ෂණය යටතේ කළ යුතු ප්‍රතිකාර ක්‍රමයක් විය. 'රෙම්ඩෙසවියර්' යනු එවැනි ඖෂධයකි. එහෙත් අලුතින් හඳුන්වා දෙන ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශ මත නිවසේදී භාවිතයට ගත හැකි වනු ඇත.

ඒ අතරින් ඉදිරියෙන්ම ඇත්තේ ඇමෙරිකාවේ 'මර්ක්' නමැති ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන වයිරසනාශක බෙහෙත් කරලකි. මෙය හැඳින්වෙන්නේ 'මොල්නුපියවියර්' යන නමිනි. අද රටවල් බොහොමයක් (අප ශ්‍රී ලංකාව ද ඇතුළුව) 'මොල්නුපියවියර්' බෙහෙත් කරල ගැන උන්නදු වෙයි. සායනික අත්හදා බැලීම්වලදී 'කොවිඩ් 19' රෝගීන්ට දිනකට දෙවරක් කරල් 4 ක් බැගින්, දින පහකට 'මොල්නුපියවියර්' නිර්දේශ කෙරුණි. සායනික අත්හදා බැලීම් සාර්ථක වූයේ රෝගීන් රොහලේ රැඳී සිටිය යුතු කාලය අඩු කරමිනි. 

'මර්ක්' සමාගම පෙන්වා දෙන්නේ, 'මොල්නුපියවියර්' ඖෂධය භාවිතයට ගනිද්දී 'කොවිඩ් 19' රෝගීන් රෝහල්ගත කිරීමක් අවශ්‍ය නොවනු ඇති බවය. 'මොල්නුපියවියර්' 'කොවිඩ් 19' නිසා මරණයට පත් වීම ද අවම කරයි. 'මර්ක්' යනු ලොව ප්‍රකට ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, බොහෝ දෙනා එදිනෙදා භාවිතයට ගන්නා ඖෂධ රැසක් නිෂ්පාදනය කරන්නේ ද මෙම සමාගමය. 'මර්ක්' සමාගමේ ආරම්භය 1891 දීය. එය ස්වාධීන සමාගමක් බවට පත් වූයේ 1917 වසරේදීය. මූලස්ථානය ඇත්තේ නිව්ජර්සි ජනපදයේ කෙලින්වර්ත් නුවරය.

'මොල්නුපියවියර්' හදිසි භාවිතයට අවසර ඉල්ලා 'මර්ක්' සමාගම සියලු සායනික දත්ත ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කර තිබේ. ඉදිරි දින කීපයේ දී 'මොල්නුපියවියර්' ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාව තුළ ඖෂධ අනුමත කරන්නේ බව ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, 'මොල්නුපියවියර්' සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වුවහොත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන උනන්දු වනු ඇත. රටවල් බොහොමයක් මේ වනවිටත්  'මොල්නුපියවියර්' ඇණවුම් කිරීමට සූදානමින් සිටින බැවින්, ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය දුන් විගස ඔවුන් 'මර්ක්' සමාගමෙන් ඖෂධය ඇණවුම් කරනු ඇත.

තවත් ඇමෙරිකන් සමාගම් දෙකක් වන 'රෝච්' සහ 'ඇටියා' ඖෂධ නිෂ්පාදන සමාගම ද එක් වී වයිරස නාශක ඖෂධයක් නිර්මාණය කර තිබේ. මෙය හැඳින්වෙන්නේ AT-527 යනුවෙනි. මෙය ද 'කොවිඩ් 19' ඉක්මනින් සුවපත් කරන රෝහල්ගත වීමට ඇති ඉඩ අවම කරන ඖෂධයකි. AT-527 ඔසුව මෙම වසර අවසානයේ දී අනුමැතිය සඳහා ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කිරීමට නියමිතය.

'ෆයිසර්' කොවිඩ් 19 එන්නත නිපදවූ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ද කොවිඩ් 19 ආසාදිතයන් වෙනුවෙන් වයිරස නාශක ඔසුවක් අත්හදා බලන බව වාර්තා වේ. පසුගිය ජූලි මාසයේ 3,000 ක පිරිසක් සම්බන්ධ කර ගනිමින් සායනික අත්හදා බැලීමක් සිදු කළ අතර, එය සාර්ථක වූ බව ද පැවැසෙයි. තමන්ගේ මෙම නව ඖෂධය මෙම 2021 වසර අවසන් වීමට පෙර ලොවට හඳුන්වා දෙන බව 'ෆයිසර්' සමාගම පවසයි.  

ජපානයේ 'ෂියෝනොගී' ඖසධ නිෂ්පාදන සමගාම ද නව ඖෂධයක් නිපදවා ඇත. මෙය අවසන් අදියරේ සායනික පර්යේෂණවලට යොමු කර තිබේ. මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට සහ කොරෝනා වයිරසය ආසාදනය වූ නිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන්ට ලබා දීමට සුදුසු බව පැවැසෙයි. 

'කොවිඩ් 19' වයිරසය ශරීරයට ඇතුළු වන්නේ නාසය, ඇස් සහ මුඛයෙනි. වයිරස ආසාදිතයකුගේ සමීපතමයකු බව දැනගත් සැණින්, භාවිතයට ගැනීමට නාසික දියර ඔසුවක් හඳුන්වා දී ඇත්තේ 'සැනෝටයිස්' නමැති ඖෂධ නිෂ්පාදන සමාගමය. අවරණ නයිට්‍රික් ඔක්සයිඩ් මෙම ඖෂධයට ඇතුළත් වෙයි. 

මේ වනවිට ඊශ්‍රායලයේ ඔසුහල්වලින් මෙම නාසික දියරය මිලදී ගත හැකිය. තවත් ඖෂධ සමාගම් කීපයක් නාසික දියර සහ ඉන්හේලර් නිපදවයි. ඒ, පෙණහලු දක්වා 'කොවිඩ් 19'  වයිරස විෂබීජ ගමන් කිරීම නැවැත්වීමේ අරමුණින්ය. ඒ අතරින් ඉදිරියෙන් පසුවන්නේ 'සිනයිර්ජන්' ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වා දී ඇති ඉන්හේලරයයි. මෙම එන්නත සම්බන්ධ සායනික දත්ත ලබන 2022 වසර මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිතය.

෴ උපුටා ගැනීම - Insider-Science

Classified_Ad

Classified_Ad_News_Bottom