ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකන් ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හිමි එන්නත් නියමිත මාත්‍රා ලබාගත් විදෙස් සංචාරකයන් සඳහා ලබන නොවැම්බර් 8 වැනිදා සිට දේශසීමා විවෘත කරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පූර්ණ එන්නත්කරණයට ලක් වුණු විදෙස් සංචාරකයන්, ඇමෙරිකාවට ඇතුළුවීමට පැය 72 කට පෙර, කොවිඩ් පරීක්ෂණයකට යොමු වී ආසාදිතයකු නොවන බව තහවුරු කර ගැනීම අනිවාර්ය යැයි ද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ඇමෙරිකාව මෙසේ තීරණය කළේ, එරට වසංගත රෝග ව්‍යාප්තිය පාලනය සහ වළක්වා ගැනීමේ 'සී.ඩී.සී.' ආයතනය නිකුත් කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මිශ්‍රණ ලබා ගත් විදේශිකයන්ට පවා ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර දීම කළ හැකි බව සී.ඩී.සී. ආයතනය නිර්දේශ කර ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ පමණක් නොව, ලොව බොහෝ රටවල එන්නත්කරණ කටයුතු වේගවත්වීමත්, 'කොවිඩ් 19' වයිරසයේ යම් පාලනයක් සහ අඩුවීමක් දකින්න ලැබීමත් සැලකිල්ලට ගනිමින් ධවල මන්දිරය මෙම තීරණය ගෙන ඇත.
කෙසේ නමුත් තවමත් 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් ලොව ඉදිරියෙන් ම පසුවන්නේ ඇමෙරිකාවය.
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව, ඇමෙරිකාව තහංචි පැනැවූ යුරෝපා සංගමයට අයත් රටවල් 26 කට, මහා බ්‍රිතාන්‍යයට, චීනයට, ඉන්දියාවට, අයර්ලන්තයට, දකුණු අප්‍රිකාවට පනවා තිබුණු දැඩි සීමාවන් ද ලිහිල් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකන් ආහාර පාලන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇති ප්‍රධාන පෙළේ එන්නත් වර්ග 3 ක්ම ඇමෙරිකාවේ නිෂ්පාදිත ඒවාය. එම එන්නත් වන්නේ 'ෆයිසර්', 'මොඩර්නා' සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ය.
ඊට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් විදේශිකයන්ට ද රටට ඇතුළු වීමට ඉඩ සලසා දීම කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා තිබේ.
'ෆයිසර්', 'මොඩර්නා' සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යන එන්නත් තුනට අමතරව, ඇමෙරිකාවේ අනුමැතිය ලැබී ඇති සෙසු එන්නත් වන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', චීනයේ 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන ප්‍රතිශක්තිකරණ එන්නත්ය.
෴ උපුටා ගැනීම - CNN