චීනයට-රුසියාවට දොස් කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 3, 2021

චීනයට-රුසියාවට දොස් කියයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ 'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය. 

සමුළුවට රාජ්‍ය නායකයන් 120 දෙනකු සහභාගී වන නමුත්, චීන ජනාධිපතිවරයා හෝ රුසියන් ජනාධිපතිවරයා ඊට සහභාගී වන්නේ නැත. එසේ වුවත් චීනය සහ රුසියාව නියෝජනය කරමින් නියෝජිතයෝ සමුළුවට සහභාගී වෙති. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය. 

මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගන්නා සමුළුවක් ලෙස මා 'කොප්26' සමුළුව දකිනවා. මිහිකත උණුසුම්වීම අවම කර ගැනීමට ලොව අප කවුරුත් එකමුතු වී තීරණ ගැනීම කළ යුතුයි. ඒත් චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ සමුළුවට සහභාගී වී නැහැ. ඔවුන් සමුළුව මඟ හැරියා. ඔවුන් සමුළුව ගැන උනන්දුවක් නොදක්වනවා යැයි මට හිතෙනවා' යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් දොස් නගමින් පැවැසුවේය. 
සමුළුවට සහභාගී නොවුණත් රුසියන් ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් සමුළුව ඇමැතූහ. ඒ, වීඩියෝ පණිවුඩ නිකුත් කරමිනි. ලොව වැඩියෙන් ම කාබන් ඩයොක්සයිඩ් වාතයට මුදා හරින රට චීනයයි. ඇමෙරිකාව ඇත්තේ දෙවැනි ස්ථානයේය. යුරෝපා සංගමට අයත් රටවල් සහ ඉන්දියාව තෙවැනි සහ සිවුවැනි ස්ථානයේ ඇති අතර රුසියාව ඇත්තේ පස්වැනි ස්ථානයේය. 

2030 වෙද්දී ගෝලීය උණුසුම අවම කර ගැනීමේ අරමුණින් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම කප්පාදු කිරීමටත්, සිදුවන වන විනාශය වැළැක්වීමටත් රටවල් රැසක රාජ්‍ය නායකයෝ සමුළුවේදී ප්‍රතිඥා දුන්හ. වන විනාශය වැළැක්වීමට දැඩි පියවර ගන්නා බව චීනයත් රුසියාවත් කොන්දේසි විරහිතව එකඟත්වය පළ කළේය. 

 ඇමෙරිකන් ජනාධිපති බයිඩන් චීන ජනාධිපති ජින් පින් ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට දොස් නැගුවේ චීනය සහ රුසියාව එසේ ප්‍රතිඥා දී තිබියදීය. මේ අතර සමුළුවට සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු 'කොප්26' සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom