'ඔමික්‍රෝන්' පැතිරීම ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 28, 2021

'ඔමික්‍රෝන්' පැතිරීම ඇරැඹේ

අප්‍රිකාවෙන් හමුවුණු B.1.1.529 විකෘති වයිරස ප්‍රභේදය, 'ඔමික්‍රෝන්' යනුවෙන් නම් කරමින්, අවදානම් සහගත විකෘති වයිරස අතරට එය එක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (27) කටයුතු කළේය. වැඩිම 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද රැසක් මුසුවී නිර්මාණය වුණු විකෘති ප්‍රභේදයක් ලෙස 'ඔමික්‍රෝන්' සැලකිය හැකිය. 

මෙවැනි විකෘතියක් මීට පෙර හමුවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන, එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන, පී.සී.ආර්. පරීක්ෂණ පවා මඟ හැරීමට සමත් යැයි පැවැසෙන 'ඔමික්‍රෝන්' විකෘතියේ 'ස්පයික්' ප්‍රෝටීන අණුවල පමණක් ඇති විකෘති ප්‍රභේද ගණන 32 ක් යැයි පැවැසෙයි. ඊට අමතරව සමස්ත වයිරස විකෘතියේ ඇති විකෘති වයිරස ප්‍රභේද ගණන 50 කි. 

මෙතෙක් හමුවී ඇති 'ඇල්ෆා', 'බේටා', 'ගැමා' සහ අතිශය බිහිසුණු 'ඩෙල්ටා' වයිරස විකෘතිවල අඩංගු සියලු විකෘති ද 'ඔමික්‍රෝන්' විකෘතියේ දකින්න ලැබෙන අතර, එය 'ඩෙල්ටා' විකෘතියට වඩා 10 ගුණයකින් ප්‍රබල යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. යළි යළිත් ආසාදනය වීමට ද මෙම විකෘතියට හැකියාව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

මෙම වයිරස විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 19 වැනිදාය. විකෘතිය හඳුනා ගැනීම කළේ දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ය. විකෘතිය B.1.1.529 ලෙස නම් කළේ ඔවුන්ය. ඔවුන් ඊට අදාල සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළේ 24 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ඊට යොමු වූයේ ඒ අනුවය. 

'ඔමික්‍රෝන්' බොට්ස්වානා රාජ්‍යයෙන් ආරම්භ වූ බව ද මේ වනවිට තහවුරු වී ඇත. බොට්ස්වානා ද අප්‍රිකා රාජ්‍යයකි. මේ වනවිට එංගලන්තය, බෙල්ජියම, හොංකොං, ඊශ්‍රායලය යන රටවලින් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී ඇති බව තහවුරු වී අවසන්ය. ඕස්ට්‍රේලියාව, චෙක් ජනරජය පවසා ඇත්තේ තම රටවලට ද 'ඔමික්‍රෝන්' වයිරසය ඇතුළු වී ඇතැයි විශ්වාස කරන බවය.

 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් මේ මොහොතේ වැඩි විස්තර පැවැසිය නොහැකි බවත්, විකෘතියේ බලපෑම නිවැරදිව තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි. මේ වනවිට රටවල් බොහොමයක් අප්‍රිකා රටවලට තහංචි පැනැවීම් කර ඇත. එම රටවලින් පැමිණෙන ගුවන් යානා බාර නොගන්නා බව ද පවසා තිබේ. 

'ඔමික්‍රෝන්' විකෘතිය එංගලන්තයෙන් වාර්තා වීමත් සමඟ, දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කළේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, 'ඔමික්‍රෝන්' සුපිරි කොරෝනා විකෘතිය හේතුවෙන් මෙවර නත්තල බ්‍රිතාන්‍ය වැසියන්ට අහිමි වනු ඇති බවය.

'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවී ඇත්තේ නොටින්හැම් සහ බ්‍රෙන්ට්වුඩ් යන පළාත්වලිනි. මොවුන් විදෙස්ගතව සිටි පැමිණි අය යැයි ද පැවැසෙයි. ඒ අනුව, යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය බවත්, පූර්ණ එන්නත්කරණයට ලක්වුවත්, මහා බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් මගීන් දින දෙකක කාලයක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට පෙනී සිට, වයිරස ආසාදිතයකු නොවන බව තහවුරු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. 

ධවල මන්දිරය පවසා ඇත්තේ 'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ජනාධිපති බයිඩන් දැනුවත් කර ඇති බවය. ජනාධිපති බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසා ඇත්තේ 'ඔමික්‍රෝන්' ඇමෙරිකාවට පැමිණ ඇතැයි තමන් විශ්වාස කරන බවය. 

'ඔමික්‍රෝන්' මේ වනවිටත් ඇමෙරිකාවට පැමිණ නැතිනම් එය පුදුමයට කරුණක් බව ද ෆවුචි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියා, ලෙසතෝ, ඊස්වාතීනි, මොසැම්බික් සහ මලාවි යන රටවලින් ඇමෙරිකාවට පැමිණිය හැකි වන්නේ ඇමෙරිකන් පුරවැසියන්ට පමණක් බවත්, ඔවුන් එන්නත් ලබා ගෙන තිබුණත් නැත්තත් දැඩි නිරෝධායන නීතිවලට යටත් විය යුතු බව ඇමෙරිකාව ද පවසා ඇත. ඊට අමතරව, ඇමෙරිකාවේ සිට දකුණු අප්‍රිකාව බලා ගුවන් ගමන් නැවැත්වීමට ද ඇමෙරිකාව පියවර ගෙන තිබේ. 

මේ අතර, දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් මගීන් 61 දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. එම පිරිස දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි සිට ඇම්ස්ටඩෑම් දක්වා පැමිණ ඇති අතර, ඔවුන් මේ වනවිට නිරෝධානය සඳහා හෝටල් වෙත යොමු කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන්තොටුපොළට ගොඩබැස්සවූ ගුවන් යානා දෙකක සිටි මගීන් 600ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලක් කිරීමෙන් පසුව මෙම ආසාදිතයන් හමුවුණු බවය.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom