කමලා හැරිස්ට ජනපති ධුරය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 21, 2021

කමලා හැරිස්ට ජනපති ධුරය

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රෝහල්ගත කිරීමත් සමඟ, උප ජනාධිපතිනී කමලා හැරිස් පැය 1 යි මිනිත්තු 25 ක කාලයක් සඳහා වැඩ බලන ජනාධිපති බවට පත් වූවාය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ කාන්තාවකට ඇමෙරිකන් ජනාධිපති බලතල හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. 

ඇමෙරිකා ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට තමන්ගේ රාජකාරි නිසි ලෙස කිරීමට නොහැකි අවස්ථාවක් නිර්මාණය වුවහොත් හෝ ඔහු හදිසියේ මියගියහොත් හෝ ජනාධිපති බලතල පැවැරෙන්නේ උප ජනාධිපතිවරයාටය. වර්තමානයේ උප ජනාධිපති ලෙස කටයුතු කරන කමලා හැරිස්, උප ජනාධිපති ධුරයට පත් වුණු පළමු කාන්තාව ද වෙයි. 

පසුගිය සිකුරාදා (19) ජනාධිපති ජෝ බයිඩන් රෝහල්ගත කෙරුණේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහාය. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ වාර්ෂිකව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සම්ප්‍රදායයි. වෛද්‍යවරුන් ජෝ බයිඩන් 'කොලනොස්කොපි' පරීක්ෂණයකට යොමු කළේය. එසේ කිරීමට බයිඩන් නිර්වින්දනය කළ අතර, උප ජනාධිපති හැරිස් ට ජනාධිපති බලතල හිමිවූයේ එම කාල සීමාව තුළදීය. 

ජෝ බයිඩන් යනු ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තාය. වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණු පසු ධවල මන්දිර වෛද්‍යවරයා මැදිහත් වී, එම වාර්තා සියල්ල මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කළේය.  ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය ගැන විමසිල්ලෙන් පසුවන ඕනෑම අයකුට අන්තර් ජාලය ඔස්සේ එම සවිස්තරාත්මක වාර්තා කියවා බැලීමට අවස්ථාව ලබා දී ඇත. 

බයිඩන් ඔහුගේ වයසට අනුව හොඳ නිරෝගී අයකු බවත්, රාජකාරි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑමට හැකි බවත් වෛද්‍ය නිර්දේශය විය. පසුගිය කාලයේ බයිඩන් නිතරම උගුර පාදනු මාධ්‍ය හමුවීම්වලදී දකින්න ලැබුණි. ඊට හේතුව උදරයේ ආම්ලිකතා නිසා බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු විය. ඒ බව තහවුරු වූයේ 'කොලොනොස්කොපි' පරීක්ෂණය හරහාය. 

බයිඩන්ට හෘද රෝගී තත්ත්වයක් නොමැති බවත්, ඔහුගේ දත් සම්බන්ධයෙන් හෝ සමේ පිළිකා තත්ත්වයක් සම්බන්ධයෙන් හෝ ගැටලු නොමැති බවත් බයිඩන්ගේ ධවල මන්දිර වෛද්‍යවරයා වන කෙවින් ඕ කොනර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. 

වෛද්‍ය පරීක්ෂණ සඳහා බයිඩන් ඇතුළත් කෙරුණේ වොෂින්ටන් අගනුවරට ඔබ්බෙන් පිහිටි වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයටය. පරීක්ෂණ සියල්ල අවසන් වීමෙන් පසු 19 වැනිදා සවස 2.05 ට බයිඩන් රෝහලෙන් පිටවුණු බවත්, ඔහු ඔහුගේ 'මැරීන් වන්' නිල හෙලිකොප්ටරයෙන් යළි ධවල මන්දිරයට පැමිණි බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom