පිච්චි ගැන දැනගන්න කලින් අපි කැමතැයි උමා ගැන දැනගන්න?
ඇත්තටම මාව ගොඩාක් දෙනා හඳුන්වන්නේ ගීපද රචිකාවියක් සහ නිවේදිකාවක් විදිහට. මගේ අම්මා නර්තන ගුරුවරියක්. මගේ පියා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දර්ශන කලා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරනවා. ඒ වගේම මගේ පියා දක්ෂ චිත්‍රශිල්පියෙක්.
පවුලේ කවුරුත් රංගනයෙන් දායක නොවුනට මගේ පවුල තුළින්ම පුංචි කාලේ ඉඳලා මට කලා ආභාෂය තිබුණා. මගේ පියාත් සයිමන් නවගත්තේගම සමග නාට්‍ය කණ්ඩායම් වල යම් කාලයක් වැඩ කරලා තියෙනවා. තාත්තාට රංගන හැකියාව පිහිටලා තිබුණත් ඔහු තෝර ගත්තේ චිත්‍ර ශීල්පය.
ගෙදරින්ම ආපු කලා හැකියාවක් මා තුළ තියෙනවා කියලා මුලින්ම හඳුනා ගන්නේ මගේ පාසලෙන් මගේ පාසල කොළඹ මියුසියස් විද්‍යාලය එතනින් පස්සේ මගේ කලා ගමන විශාලම පන්නරය වැටුණේ කොළඹ විශ්‍වවිද්‍යාලයේ කලා උපාධිය හදාරන්න යොමු වුණාට පසුව. මගේ පවුල ගත්තම පවුලේ ඉන්නේ නංගියි මල්ලි මමයි අම්මයි තාත්තයි.
අපි මාණික්කාවත පැත්තට හැරුනොත් කොතනින්ද පිච්චි ලෙස සම්බන්ධ වෙන්න උමාට අවස්ථාව ලැබෙන්නේ?
ජගත් චමිල අයියා සහ නාරද තොටගමුව අයියා තමයි මාව මුලින්ම පිච්චිට යෝජනා කරලා තිබුණේ. ඒ වෙනකොට සුදත් සර් මාව දැනගෙන හිටියේ නැහැ. ජගත් අයියා එක්ක මම ගොඩාක් වැඩ කරලා තිබුණ නිසා ඔහු මං ගැන සුදත් මහත්මා සමග කියලා තිබුණා.
ඊට දින කිහිපයකට පස්සේ මට හදිසියේම ඇමතුමක් ආවා ස්වාධීන රූපවාහිනියට එන්න කියලා සුදත් සර්.
චමින්ද අයියා මම කරපු නිර්මාණ බලලා මගෙන් ඇහැව්වා පිච්චි කියන චරිතය භාරගන්න පුළුවන්ද කියලා. මම එකපාරටම ඔව් කියලා කිව්වා. ඒ වෙනකොට මට ලොකුවට රඟපාලා නැති වුණාට වේදිකාව උඩ මම ලබාගත් අත්දැකීම් සහ පුහුණුව එක්ක පිච්චිගේ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතුණා. පොඩ්ඩක්වත් මට බයක් දැනුණේ නැහැ. දෙපාරක් හිතන්නේ නැතුව මම ඒ අවස්ථාව භාරගත්තා.
ඔබ නවකයෙක් විදියට මේක අභියෝගයක් කියලා හිතුනෙම නැද්ද?
ඇත්තටම හිතුණා. පිච්චි කියන චරිතය අවුරුදු 18 ඉඳලා අවුරුදු 78 පමණ වෙනකම් දිවෙන චරිතයක්. එකම රංගන ශිල්පිනියක් මේ කාල පරාසය නිරූපණය කරන්න ඕන. මේ අභියෝගය භාර ගන්න පුළුවන්ද කියලා සුදත් සර් කීප විටක්ම ඇහැව්වා.
මම ආසයි අභියෝග භාරගන්න. ඒ නිසා මේක මට ලැබුණු හොඳ අවස්ථාවක් විදියට භාර ගත්තා.
තිර පිටපත ඔබේ අතට පත්වෙනකොට මැණික්කාවත පොත ඔබ කියවලා තිබුණාද?
මම කොහොමත් හොඩක් පොත් කියවන කෙනෙක්. නවකතාකරුවෙකුට වඩා කවියෙක් විදියට මෑත කාලයේ මම ගොඩක් අාස කරපු චරිතයක් තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අයියා. මහින්ද අයියාගේ මැණික්කාවහ ඒ වෙනකොට මම තුන් හතර පාරක් කියවලා තිබුණු පොතක්. පොත කියවද්දි හිත රැඳුන චරිතය තමයි ගුණදාරි ආදරේ කරාට මට ලැබුණේ පිච්චිගේ චරිතය.
පිච්චි කොහොමද උමාට දැනුනේ?
මේවා අපි මීට පෙර දැකලා තියෙන චරිත නෙමෙයිනේ. පිච්චි කියන චරිතය ජීවිතේ මුණ දීලා තියෙන ගැටලුකාරී තැන්වලට මට පිච්චි විදිහට මූණ දෙන්න වුණාට ඒක විශේෂයෙන් අධ්‍යයනය කරන්න වුණා. ඒ වගේ තත්ත්වයකට මුහුණ දුන් ගැහැණියකගේ තියෙන මනෝභාවය ඒ මනෝභාව එක්ක හැසිරීම කොයි විදිහද ඇය ප්‍රශ්න එක්ක ගැටෙන්නේ කොහොමද කියනදේ චරිතයට යොමු වෙන්න කලින් මම අධ්‍යයනය කළා. කෘතියක් විදිහට ගත්තම මේක අතිශය වටිනා ප්‍රශස්ත නිර්මාණයක්.
ඒ වගේ චරිතයක් නිරූපණය කරනවා කියන්නේ සෑහෙන ලොකු අභියෝගයක්. මොකද මැණික්කාවත පොත කියවපු පාඨකයන්ගේ හිතේ ඇඳුණු පිච්චි කෙනෙක් ඉන්නවා. ඒ පිච්චිට හානියක් නොවෙන්න ප්‍රතිනිර්වචනය කිරීමට ඉතාම අසීරු කාර්යයක්. මම හැම පාඨකයෙක්වම සතුටු කරන්න බැහැ. නමුත් බහුතරයකගේ හිතේ ඇඳුන පිච්චිට හානියක් නොවෙන්න ප්‍රතිනිර්මාණය කරන එක තමයි මට තිබුණ එකම අභියෝගය.
කොටස් කීපයක් මේ වෙනකොට විකාශන වෙලා තියෙනවා. හිතේ හිටිය පිච්චිම ඉන්නවා කියලා මම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
රූපගතකිරීම් ඇතුළේ වින්ද දුෂ්කරතා අත්දැකීම් ගැන කතා කළොත්?
ඒ අද්දැකීම මගේ රංගන ජීවිතේට විතරක් නෙමෙයි ජීවිතේට ලැබුණු හොඳ අත්දැකීමක්. කල්තොටට ගියාට පස්සෙ අපි මේ මහපොළොවේ දේවල් දන්නේ කොයි තරම් අඩුවෙන්ද කියලා හිතුණා. මාස ගණනක් ගෙදරට කතා කරන්න සිග්නල් කණුවක් සොයා ගන්න නැහැ. කොළඹ ඉඳන් අපි ඔන්ලයින් අධ්‍යාපනය ගැන කතා කරනවා.
පළමු දර්ශනය පුරාවටම තිබුණේ ගල්, ගස් උඩ නගින්න විශාල කඳු තරණය කරන්න. මට මතකයි කූරගල කල දර්ශන වලදි ගලෙන් බහින කොට යටිපතුල් පුපුරලා තිබුණා. ගල රත් වෙලා. මට වේදනාව දරාගන්න බැරි තැන ජගත් අයියා එයාගේ ෂර්ට් එක තෙමලා මගේ කකුල් දෙකේ එතුවා. ඒ තරමට අමාරු වුණා. මාන පඳුරු වලට හීරිලා වැටිලා තුවාල වෙලා අත පය ගන්න දෙයක් නැහැ. දැන් උමා උමාව අතෑරලා පිච්චි තමයි ජීවත් වෙන්නේ. ඇත්තම කියනවා නම් මං දැන් කල්තොටට පත්තියන් වෙලා ඉන්නේ.
උමා වේදිකාවේ වැඩ කරාට පුංචි තිරයේ දකින්නේ බොහොම අඩුවෙන්?
මම සෑහෙන්න චරිත තෝරනවා. මට අරමුණක් තියෙනවා. ඒ අරමුණට යන්න පුළුවන් මම හොඳ චරිත කළොත් විතරයි. මම ආපු අවස්ථාවන් ගණනාවක් මම අතෑරියා ඒ චරිත වල මට කරන්න දෙයක් නැහැ. ගස් වටේ කැරකිලා මැදමුල අග නැති චරිත කරන්න මට කැමැති නැහැ.
හැබැයි මගේ රංගන හැකියාව පෙන්වන්න පුළුවන් චරිත ලැබනෙවා නම් කොන්දේසි විරහිතව මම ඒවට දායක වෙනවා.
තිළින බොරලැස්ස අයියාගේ නිර්මාණ ගණනක මම දායක වුණේ ඉන් සමහර ඒවා විකාශනය වුණේ නැහැ. මේනක අයියාගේ ආලියා කියන නාට්‍යයේ පොච්චිගේ චරිතය මම බොහොම ආසාවෙන් කරපු නිර්මාණයක්. පුංචි පුංචි අවස්ථා ලැබුණත් මට ප්‍රධාන චරිත කරලා තිබුණේ නැහැ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ මානික්කාවත හරහා.
෴ නදීශා අතුකෝරළ
ඡායාරූප - සජීව ලක්ෂාන් - Photo Journalist
උපුටා ගැනීම - සිරිකත