අඩක් ගැහැනු අඩක් පිරිමි චාලිගේ කතාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2022

අඩක් ගැහැනු අඩක් පිරිමි චාලිගේ කතාව

අපගේ මේ ලෝකය ජීවයෙන් පිරුණු හරි අපූරු තැනකි. ගැහැනු සතුන්ගෙන් සහ පිරිමි සතුන්ගෙන් පිරුණු විස්මිත තැනකි. මේ ලෝකයේ අඩක් ගැහැනු අඩක් පිරිමි සතුන් ද සිටිනවා කීවොත් ඔබ පුදුම වේවි. ඒක ඇත්ත. එවැනි සතුන් සිටින අතර, මේ එවැනි එක් සතකු ගැන කතාවකි. එයාගේ නම 'චාලී' ය.  

'චාලී' වන්දෙකි. සුරතලේට ඇති කරන වන්දෙකි. නිසොල්මනේ සිටිද්දී, කොළ පැහැති බෝංචි කරළක් වැනිය. 'චාලි'ගේ හිමිකාරිය; එසේත් නැතිනම් 'චාලි' සුරතලේට ඇති කරන්නේ ලොරෙන් ගාෆීල්ඩ් මහත්මියයි. ලොරේන්ගේ විනෝදාංශය කෘමි සතුන් ඇති කිරීම සහ බෝ කිරීම වන අතර, වෝල්ඩ්රිග්ෆීල්ඩ් පළාතේ, ස්ෆ්ලෝක් නගරයේ පිහිටි නිවසේ කෘමි සතුන් වෙනුවෙන් වෙනම පුංචි කුටියක් ඇත. 

පසුගිය දා 'චාලි' හැවඇරියේය. ඒ කියන්නේ 'චාලි' රූපාන්තරණයට ලක්විය. චාලි ගැහැනු සතකු මෙන්ම පිරිමි සතකු බව ලොරේන්ට දකින්න ලැබුණේ එවිටය. ඇය පුදුමයට පත් වූවාය. හැවඇරීමට පෙර, 'චාලී' බෝංචි කරළක් වැනි කොළ පැහැයෙන් යුක්ත විය. 

හැවඇරීමෙන් පසු 'චාලී'ගේ සිරුර දීප්තිමත් කොළ පැහැයකට හැරුණි. ඒ, ගැහැනු වන්දකුගේ පැහැයයි. පියාපත් නිර්මාණය විය. ඒවා දුඹුරු පැහැතිය. දුඹුරු පියාපත් ඇත්තේ වන්දා පිරිමි සතුන්ටය. 

චාලිගේ 'පෙරැළිය' ගැන ලොරේන් මවිතයට පත්වූවාය. ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් ද පළ කළාය. 'මා අවුරුදු කීපයක පටන් වන්දන් ඇති කරනවා. උන් බෝ කරනවා. ගැහැනු වන්දකු පිරිමි වන්දකු පැහැදිලිව හඳුනා ගන්න මට පුළුවනි. ඒත් දැන් මා ළඟ ඉන්නවා ගයිනැන්ඩ්‍රමෝෆ් වන්දෙක්.' යනුවෙන් එම ෆේස්බුක් සටහනේ දැක්විණි. 

ඉන්පසු ඇය ලන්ඩන් ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ විද්‍යාඥයන්ට 'චාලි' ගැන දැනුම් දුන්නාය. අකමැත්තෙන් වුවත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා 'චාලි' ස්වභාව ඉතිහාස කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට පවා අවසානයේ ඇය කටයුතු කළාය. අඩක් ගැහැනු අඩක් පිරිමි මෙවැනි සතුන් හැඳින්වෙන්නේ 'ගයිනැන්ඩ්‍රමෝෆ්' Gynandromorph ජීවියකු ලෙසය. 
ගැහැනුත් වන පිරිමිත් වන සතුන් (ගයිනැන්ඩ්‍රමෝෆ් Gynandromorph) ස්වභාදහමේ විකෘතීන් ලෙස සැලකෙයි. මෙවැනි විකෘතීන් දකින්න ලැබෙන්නේ කෘමීන්, පක්ෂීන්, සර්පයන් සහ පොකිරිස්සන් අතරේ යැයි විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. 

සාමාන්‍යයෙන් 'චාලි' වැනි පිරිමි වන්දකුගේ සිරුරේ දිග සෙන්ටි මීටර් 9 ත් 13 ත් අතරය. ගැහැනු සතුන්ගේ දිග සෙන්ටි මීටර් 14 ත් 18 ත් අතරය. 'චාලි'ගේ 'පෙරැළිය' දැක සතුටට පත්වුණු තවත් කෙනෙකු වන්නේ ලොරේන් මහත්මියගේ පුතුය. ඔහු 'චාලි' පාසලට ගෙන ගොස් පංතියේ යාළුවන්ට ඌ පෙන්නූ බව ද පැවැසෙයි. ඒ, ලන්ඩන් ස්වභාව ඉතිහාස කෞතුකාගාරයට චාලි පරිත්‍යාග කිරීමට පෙරය.

''චාලි ට ඒ නම දැමුවේ මගේ දරුවෝ. චාලි සුවිශේෂයි. මෙවැනි ගැහැනු සහ පිරිමි සත්ව විශේෂයක් හමුවීම කලාතුරකින් වෙන දෙයක්. චාලි ගැන ලොවට කියන්න ලැබීම ගැන මා ඉන්නේ හරිම උනන්දුවෙන්'' යැයි ලොරේන්ගේ ෆේස්බුක් සටහනේ වැඩි දුරටත් සඳහන් වෙයි. 

'චාලි' යෝධ වන්දන් විශේෂයකට අයත් වන්දෙකි. මෙවැනි වන්දන් ශාන්ත වින්සන්ට්, ග්‍රෙනේඩා, ශාන්ත ලුසියා ආදී කැරිබියානු දූපත්වලට ආවේණිකය. වැසි වනාන්තරවල ජීවත් වෙන මෙම සතුන්ගේ ප්‍රධාන ආහාරය කොළ වර්ගය. ආයු කාලය වසරක් පමණක් බව පැවැසෙයි. එංගලන්තයේ බොහෝ දෙනා සුරතල් සතුන් ලෙස මෙවැනි වන්දන් ඇතිදැඩි කරන බව Daily Mail වෙබ් අඩවිය පෙන්වා දෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom