දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා ගුරුතුමිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 20, 2022

දරුවන් ප්‍රාණ ඇපයට ගන්නා ගුරුතුමිය

එය තවත් සාමාන්‍ය බ්‍රහස්පතින්දා දිනයකි. පෙර පාසල් ගුරුවරියක වන නෛනා ජිස්වාල්, හිටිහැටියේ ඇගේ පාසලේ පෙඩිත්තන් 16 දෙනකු ප්‍රාණ ඇපයට ගනී. දරුවන් නිදහස් කිරීමට නම් ඇය ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරයි. ඇගේ අවසන් ඉල්ලීම වන්නේ රටේ අගමැති සමඟ කතා කිරීමට ඕනෑ යන්නය. 

තම ඉල්ලීම් ඉටු නොවන්නෙ නම්, පොඩිත්තන් එකිනෙකා මරා දමන බවට නෛනා තර්ජනය කරයි. පොඩිත්තන්ගේ මාපියන් භීතියෙන් හඩා වැළපෙද්දී, සමාජ මාධ්‍ය සහ ඉන්දීය රූපවාහිනී පුවත් සේවා සිද්ධිය සම්බන්ධයෙන් 'බ්‍රේකිං නිවුස්' පළ කරද්දී චිත්‍රපටයේ කතාව උණුසුම් වෙයි. 
මේ වනවිට Disney+ Hotstar හරහා නැරැඹිය හැකි A Thursday නමැති ත්‍රාසය කුතුහලය පිරි නවතම බොලිවුඩ් චිත්‍රපටය මෙයයි. A Thursday සිනමාහල්වලට නොගෙස් Disney+ Hotstar හරහා මේ වනවිට වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ගොස් අවසන්ය. A Thursday සිනමාහල්වල තිරගත වූවා නම්, නිසැකවම එය houseful චිත්‍රපටයක් වනු ඇතැයි ඉන්දීය සිනමා විචාරකයන්ගේ අදහස වී තිබේ. 

බෙහ්සාද් කම්බාටාගේ තිරරචනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද හැඩවුණු A Thursday සාමාන්‍ය බොලිවුඩ් සිනමා රාමුවෙන් වෙන් වූවක් බව පැහැදිලිය. ඇද මෙවැනි නිර්මාණ බොලිවුඩයේ දකින්න ලැබී සතුටට කරුණකි. 

දමිල, තෙළිගු පමණක් නොව විශේෂයෙන් සඳහන් කළ යුතු මලයාලම් සිනමාව අද බොලිවුඩ් සිනමාවට අභියෝගයක් වී ඇත. එම අභියෝග හමුවේ A Thursday බොලිවුඩ් සිනමාව තැබූ ඉදිරි පිම්මකි. ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සමත් වූ චිත්‍රපටයකි. මිනිත්තු 129 පුරා එක දිගට නැරැඹිය හැකි ත්‍රාසජනක චිත්‍රපටයකි.

 A Thursday ආරම්භයේ සිනාමුසුව, පොඩිත්තන් සමඟ ආදරයෙන් සිටින තරුණ ගුරුතුමිය, හිටිහැටියේ පිස්තෝලයක් අතැතිව වෙනස් වෙයි. පොඩි දරුවන් ප්‍රාණ ඇපයට ගෙන, ඔවුන් එකිනෙකා මරා දැමීමට තර්ජනය කරන නපුරියක වෙයි. ඒත් චිත්‍රපටය අවසානයේ සිදුවී ඇති අසාධාරණය හමුවේ යුක්තිය සොයා යන වීරවරියක වෙයි. 

නෛනා ජිස්වාල්ගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන යමී ගෞතම්ය. A Thursday යමී ගෞතම්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය යැයි විචාරකයෝ පෙන්වා දෙති. ඇය මෙවැනි චරිත නිරූපණයකට මීට පෙර දායක වී නැත. නෛනා දරුවන් ප්‍රාණ ඇපයට ගනිද්දී කතා කිරීමට අවශ්‍ය යැයි පවසන්නේ මුම්බායි පොලිසියේ නමක් දිනූ පොලිස් නිලධාරියකු වන ජාවඩ් ඛාන් සමඟය. 
ජාවඩ් ඛාන්ගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ නළු අතුල් කුල්කරානීය. ජාවඩ් ඛාන්ගේ හිටපු බිරිඳ මෙන්ම, ප්‍රාණ ඇපකරු සිදුවීම සැලවී පළමුවෙන් පෙර පාසල පිහිටි ගොඩනැගිල්ලට පැමිණෙන අනෙක් පොලිස් නිලධාරිනිය කැතරීන් අල්වාරේස්ගේ චරිතයට පණ පොවන්නේ බොලිවුඩ් නිළි නේහා ඩෘපියාය. නේහා ඩෘපියා නිරූපණය කරන කැතරීන් අල්වාරේස් පොලිස් නිලධාරිනිය ගැබිනියකි. 
නේහා ඩෘපියා ඇගේ එම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරයි. අධ්‍යක්ෂ බෙහ්සාද් කම්බාටා තමන් වෙනුවෙන් ගැබිනි පොලිස් පරීක්ෂකවරියගේ චරිතය නිර්මාණය කළ බවත්, අතීතයේ මෙන් නොව, දැන් දැන් බොලිවුඩ් සිනමාව වෙනස් වෙමින් පවතින බවත් නේහා ඩෘපියා මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

චිත්‍රපටයේ අනුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටින්නේ කාන්තාවකි. ඇය මායා රාජ්ගුරුය. අග්‍රාමාත්‍ය මායාගේ චරිතයට රංගනයෙන් එකන්වන්නේ ප්‍රවීණ නිළි ඩිම්පල් කපාඩියාය. 

නෛනාගේ පළිගැනීමත් සමඟ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් වෙයි. තමන්ට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් සහ තමන් මෙන්ම අසාධාරණයට පත්වන දැරියන් ඇතුළු කාන්තාවන් වෙනුවෙන් නෛනා වීරවරියක් වෙයි. ඇය ඇගේ හඩ ඉන්දියාවට පමණක් නොව මුළු ලොවටම කියයි.
 චිත්‍රපටය අවසානයේ දෙන පණිවුඩය ඉතා වැදගත්ය. A Thursday රූගත කිරීම් ආරම්භ වූයේ 2021 මාර්තු 12 වැනිදාය. රූගත කිරීම් අවසන් වූයේ 2021 ජූලි මාසයේය. Disney+ Hotstar හරහා A Thursday විකාශය වීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 17 වැනිදාය.

෴ උපුටා ගැනීම - India Today

Classified_Ad

Classified_Ad_News_Bottom