ඔඩුදුවන රුසියානු යුක්රේන අර්බුදය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Feb 27, 2022

ඔඩුදුවන රුසියානු යුක්රේන අර්බුදය

'කොවිඩ් 19' හෙවත් කොරෝනා වසංගතය මනුෂ්‍ය වර්ගයාට පාඩමක් කියා දීමට උත්සාහ කළේය. ඒ, වසංගතය හමුවේ තරාතිරම නොබලා ලොව සෑම කෙනකුම අසරණ වෙද්දී, දේශපාලනික වශයෙන් ආගමික වශයෙන් බෙදී වෙන් නොවී ලොව සෑම කෙනකුම එකමුතු විය යුතු බවය. සම්පත් බෙදා ගත යුතු බවය. ඒත්, අවාසනාවකට 'කොවිඩ් 19' කොරෝනා වසංගතයෙන් අප කිසිදු පාඩමක් ඉගෙන ගත්තේ නැත. ලෝකය 'කොවිඩ් 19' වසංගතයෙන් හිස එසවූවා පමණි. 

දැන් තෙවැනි ලෝක යුද්ධයේ පෙර නිමිති පහළ වී ඇත. ඒ රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමත් සමඟය. ලොව ශක්තිමත් නායකයකු ලෙස කාගේත් ගෞරවාදරයට පත්ව සිටි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කර තිබේ. 

යුක්රේන සිවිල් වැසියන්ගේ ජීවිත වනසමින්, දහස් ගණනකට උන්හිටිතැන් අහිමි කරමින් ජනාධිපති පුටින් කරන දේ හරිද? කොතරම් දුරට එය සාධාරණද? පුටින්ට ආදරේ කරන, ගරු කරන බොහෝ දෙනකුගේ සිතට නැගෙන පැනනය මෙයයි. ශක්තිමත් නායකයකු යනුවෙන් අදහස් කරන්නේ යුද්ධය කරන නායකයා නොව; යුද්ධ කිරීමෙන් වැළකී සිටින නායකයාය. පුටින් ට අනුව ඔහු යුක්රේනය ආක්‍රමණය කරන්නේ යුක්රේනයේ සිටින රුසියන් සම්භවයක් ඇති වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමටය. 

 ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට පහරදීම ආරම්භ කළේ පසුගිය 23 වැනිදාය. දිශා තුනකින් යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කරමින් පහරදීම ඇරැඹුවේය. රුසියන් හමුදාව කියෙව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. 
27 වැනිදා රුසියන් යුක්රේන යුද්ධයේ සිවුවැනි දිනය විය. ඒ වනවිට කියේව් අගනුවර යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ දරුණු වීදි සටන් පැවැතිණි. ඒ වනවිට අවි ගැටුම් හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 200 කට වැඩිය. කුඩා දරුවන් සහ කාන්තාවන් ද එ් අතරේ සිටින බව බටහිර මාධ්‍ය වාර්තා කළේය. 

ඒ අතරතුරේ ගැටුම් හේතුවෙන් පණ බේරා ගනිමින් යුක්රේනයෙන් අසල්වැසි රටවලට පලා යෑම ආරම්භ කළ යුක්රේන සිවිල් වැසියන් ගණන 1,50,000 ක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසීය. රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා රටවල් නියෝජනය කරන යුරෝපා සංගමය, ජපානය සහ ඕස්ට්‍රේලියාව එක් වී රුසියාවේ ආර්ථිකය අඩපණ කිරීමට සම්බාධක පැනැවීය. රුසියානු බැංකු, ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනැවීය. 
හමුදා ප්‍රධානීන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනැවීය. ඊට අමතරව ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් ඉලක්ක කර ගනිමින් සම්බාධක දිගට හරහට සම්බාධක පැනැවීය. 

කියෙව් අගනුවරට සති අන්තයේ ඇඳිරිය පැනැවවීමට නගර බලධාරීහු තීරණය කළහ. ඒ, යුක්රේනයේ රුසියානු හිතවාදී දේශපාලන ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ සහචරයන් එක් වී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පුමුඛ රජය පෙරළා දැමීමට කඩාකප්පල්කාරී කුමන්ත්‍රණක් ද ආරම්භ කර ඇති බැවිනි. ඇඳිරි නීතිය පනවා ඇති වේලාවේ වීදිවල ගැවසෙන ඕනෑම අයකු රුසියන් කඩාකප්පල්කාරියකු ලෙස සලකන බව නිවේදනය කෙරුණි.

ඊට අමතරව, අවි දැරිය හැකි සියලු දෙනා සටනට එක්වන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඉල්ලා සිටියේය. යුක්රේන තරුණයන් පමණක් නොව, අවුරුදු 80 ට වැඩි වැඩිහිටියන් පවා යුක්රේන හමුදාවට එක්වන අයුරු විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. 
යුක්රේනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්වා, හමුදා වහා ඉවත් කර ගන්නැයි රුසියාවට බල කිරිමේ නව යෝජනාවක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 ක් සිටින අතර රුසියාව එහි නිත්‍ය සාමාජිකයෙකි. එම සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර,‍ චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. නිත්‍ය සාමාජිකයකු වන රුසියාව සිය නිෂේධ බලය භාවිතයට ගනිමින් යෝජනාව පරාජය කළේය. 

රුසියානු ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. 'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද්ධය තෝරා ගන්නේ නැහැ' යැයි පාප්තුමන් ටිවිටර් පණිවුඩයක් ඔස්සේ ඉංග්‍රීසි බසින් මෙන්ම රුසියන් බසින් ද පෝස්ටුවක් පළ කළේය. පාප්තුමන් වතිකානයට සම්බන්ධ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපතිවරයා හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා අප්‍රසාදය ද පළ කළ බව මාධ්‍ය වාර්තා පවසා ඇත. 

රුසියන් හමුදා යුක්රේනයට පහර දීම ආරම්භ කළේ යුක්රේනයේ උතුරින්, දකුණින් සහ නැගෙනහිරින්ය. යුක්රේනය රුසියාවේ අසල්වැසියාය. යුක්රේනය රුසියාවට මායිම් වන්නේ නැගෙනහිරිනි. දකුණින් ඇත්තේ ක්‍රයිමියා අර්ධද්විපයයි. 2014 වසරේ සිට ක්‍රයිමියා අර්ධද්විපය රුසියාව විසින් අල්ලා ගනු ලැබ තිබේ. ඒ, ක්‍රයිමියා අර්ධද්වීපයේ සිටින යුක්රේන බෙදුම්වාදීන්ගේ සහාය ඇතිවය. උතුරින් යුක්රේනයට මායිම් වන්නේ බෙලරුසියාවය. බෙලරුසියාව, රුසියාවේ සමීපතම මිතුරෙකි. 

බෙලරුසියාවෙන් යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවරට යා හැකි කෙටිම මඟ තෝරා ගත්තේය. එම මඟ වැටී ඇත්තේ චර්නෝබිල් හරහාය. ලොව බිහිසුණු ම න්‍යෂ්ටික ව්‍යසනය සිදුවූයේ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය මුල්කොට ගනිමිනි. ඒ, 1986 වසරේදීය. අද චර්නෝබිල් බලාගාරය මුළුමනින්ම රුසියන් හමුදා ග්‍රහණයේ පවතින බව වාර්තා වේ. රුසියන් හමුදා ප්‍රහාර හමුවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කී, හමුදා නීතිය ප්‍රකාශයට පත් කළේය. 
පුටින්ට අනුව, රුසියන් හමුදා යුක්රේනයට කඩා වැදුණේ සාම හමුදාවක් ලෙසය. තමන් පහර දෙන්නේ යුක්රේනයේ හමුදා ඉලක්කවලට පමණක් බවත්, තම අරමුණ යුක්රේන හමුදා අඩපණ කර, රජය පෙරැළීම බවත් ජනාධිපති පුටින් අවධාරණය කළේය. කෙසේ නමුත් ඒ බවක් පෙනේනන නැත. මිසයිල ප්‍රහාර සිවිල් වැසියන් වෙසෙන නගරවලට එල්ල වීම සිදුවෙයි. යුක්රේන යුද්ධය ආරම්භ කළේත් අවසන් කරන්නේත් තමන් බවත්, කිසිදු විදේශයක් ඊට මැදිහක් නොවන ලෙසත් පුටින් තර්ජනය කර තිබේ. 

යුක්රේනයේ රුසියන් බස කතා කරන සහ රුසියන් සම්භවයක් ඇති ජනතාව වාසය කරන පළාත හැදින්වෙන්නේ ඩොන්බාස් යනුවෙනි. නැගෙහිරින් රුසියාවට මායිම් වන්නේ ඩොන්බාස්ය. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන නගර අයත් ප්‍රදේශ ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් නගර අයත් ප්‍රදේශවල පාලනය ඇත්තේ යුක්රේනයෙන් වෙන්වීමට උත්සාහ ගන්නා රුසියානු හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන් යටතේය. 

ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන ජනරජ ලෙස නම් කිරීමට රුසියානු ජනාධිපති පුටින් තීරණය කළේ පසුගිය 21 වැනිදාය. අර්බුදය උත්සන්න වූයේ ඒ අනුවය. ඒ වනවිට ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් වැසියන් මර්දනය කරමින්, එම පළාත් අල්ලා ගැනීමට යුක්රේන රජය සහ රජයේ හමුදා උත්සාහ ගන්නා බවට බෙදුම්වාදීහු චෝදනා නගා තිබුණි. 

2014 වසරේ සිට ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත් රුසියාවට පක්ෂව කටයුතු කරමින් සිටී. ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාතේ රුසියානු සම්භවයක් ඇති සහ රුසියන් බස කතා කරන වැසියන්ගේ ආරක්ෂාවට හමුදා සහාය අවශ්‍ය බව එම පළාත්වල බෙදුම්වාදී නායකයන් රුසියන් ජනාපධිති පුටින් ඇතුළු රජයෙන් ඉල්ලීමක් කළේය. මාස කීපයක් තිස්සේ උතුරින්, නැගෙනහිරින් සහ දකුණින් යුක්රේනය වට කර සිටි ලක්ෂ ගණනක් රුසියන් සොල්දාදුවන් යුක්රේනයට ඇතුළු වූයේ ඒ අනුවය. ඒ සඳහා රුසියන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ අනුමැතිය පුටින්ට හිමිවී තිබුණි. 

රුසියානු යුක්රේන යුද්ධයේ ආරම්භය වූයේ එලෙසිනි. රුසියානු ජනාධිපති පුටින් යුක්රේන හමුදාවට දිගින් දිගටම පවසා ඇත්තේ අවි බිම දමා යටත් වන ලෙසත්, යුක්රේන පාලනය පෙරළා දැමීමට සහාය පළ කරන ලෙසත්ය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඊට දැඩිව විරෝධය පළ කර තිබේ. රුසියානු තර්ජන හමුවේ අවි බිම නොතබන බවත්, මවුබිම වෙනුවෙන් සහ නිදහස වෙනුවෙන් දිගටම සටන් වදින බවත් ජනාධිපති සෙලෙන්ස්කි විටින් විට කියෙව් අගනුවර සිට වීඩියෝ පණිවුඩ නිකුත් කරමින් යුක්රේන වැසියන් දිරි ගන්වයි. රුසියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ සෙලෙන්ස්කි සහ ඔහුගේ පවුලය. 

මීට වසර තුනකට පෙර සෙලෙන්ස්කි රූපවාහිනී ප්‍රහසන නළුවකු විය. සෙලෙන්ස්කී රංගනයෙන් එක්වුණු ප්‍රහසන කතා මාලාවක් යුක්රේන වැසියන් අතරේ අතිශය ජනප්‍රිය විය. එම ප්‍රහසන කතා මාලාවේ ද සෙලෙන්ස්කී යුක්රේන ජනාධිපති ලෙස රංගනයේ යෙදුණි. සෙලෙන්ස්කී ජනාධිපතිවරණය ජය ගත්තේ ඔහු නළුවකු ලෙස ලැබූ ජනප්‍රියත්වය නිසාම පමණි. ඔහුට දේශපාලනික අත්දැකීම් කිසිවක් නැත. අද සෙලෙන්ස්කි නොබියව යුද්ධයකට මුහුණ දෙයි. 
රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේනය අසරණ වූ බවත්, තනිවුණු බවත් රුසියන් ප්‍රහාර නැවැත්වීමට බටහිර රටවල්, යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ මැදිහත් වන බවක් පෙනෙන්න නැති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පසුගිය 25 වැනිදා පැවැසුවේ ඉතා හැඟීම්බරව කඳුළු පුරවාගත් දෙනෙතිනි. 

අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් වූ යුක්රේනය, සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වීමෙන් අනතුරුව, බටහිර හිතවාදී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම ඇරැඹුවේය. යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවුණත්, නේටෝ සාමාජිකත්වය අපේක්ෂාවෙන් නේටෝව සමඟ සමීපව කටයුතු කරයි.

නේටෝව සමඟ එක් වී යුද අභ්‍යාසවල නියැළෙයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ විරෝධයට හේතුව මෙයයි. පුටින් ඉල්ලා සිටියේ යුක්රේනය නේටෝව සමඟ පවත්වන ඇයිහොඳයිකම් වහා නැවැත්විය යුතුයි යන්නය. යුක්රේනය එම ඉල්ලීමට කන් දුන්නේ නැත. 

පසුගිය 2021 වසර අවසානයේ සිට, රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි ලක්ෂ ගණනින් රුසියන් සොල්දාදුවන් දේශසීමාවේ රඳවා පහර දීමට සූදානමින් සිටි අතර ඔවුන් 23 වැනිදා යුක්රේනයට කඩා වැදී ප්‍රහාර ආරම්භ කළේය. 

යුක්රේනය නේටෝ සාමාජිකයකු නොවන බැවින්, ඇමෙරිකාවට, කැනඩාවට, ප්‍රංශයට, ජර්මනියට, යුරෝපා රටවලට සෘජුව යුක්රේනයට ගොස් රුසියන් හමුදාව සමඟ සටන් කළ නොහැකිය. කෙසේ නමුත්, ඇමෙරිකාව යුක්රේනය වටේ ඇති නේටෝ රටවලට හමුදා සොල්දාදුවන් යැවීම සිදු කර තිබේ. ඒ එම රටවල ආරක්ෂාව තහවුරු කරමිනි. ඊට අමතරව ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක් වටිනා අවි ආයුද ලබා දීමට ද අවශ්‍ය අනුමැතිය දී අවසන්ය. 
රුසියාවත් යුක්රේනයත් අතර යුද උණුසුම වර්ධනය වෙද්දී, ලෝක වෙළෙඳපොළ බොර තෙල් මිල ඉහළ යෑමට පටන්ගෙන තිබේ. ඇමෙරිකන් ඩොලර් 97 ක් ලෙස පැවැති බෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 103 ඉක්මවීය. රුසියන් යුක්රේන අර්බුදය නිර්මාණය වූයේ විදේශ විනියම හිඟය මුල්කොට ගනිමින් අප ශ්‍රී ලංකාව බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ පා ඇති මොහොතකය. එහෙයින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම අපට තදින්ම දැනෙනු ඇත. 

ඉදිරියේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 130 පසු කරනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති. යුරෝපා රටවලට ප්‍රධානතම තෙල් සහ ගෑස් සැපැයුම්කරු වන්නේ රුසියාවය. අර්බුදය හේතුවෙන් එම කටයුතු අඩාල වෙද්දී, යුරෝපා රටවල් මැදපෙරදිග කලාපයෙන් තෙල් සහ ගෑස් ලබා ගැනීමට පෙළඹෙනු ඇත. එසේ වුවහොත් මැදපෙරදිග ගෑස් සැපයුම සීමාවෙයි. එවිට මැදපෙරදිගින් තෙල් සහ ගෑස් මිලදී ගන්නා ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් අමාරුවේ වැටෙනු ඇත.
 රුසියන් යුක්රේන අර්බුදය හේතුවෙන් සමස්ත ලෝකයම දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු වැඩි දුරටත් අඟවති. රුසියානු යුක්රේන යුද ගැටුම් අප රටේ සංචාරක කර්මාන්තයට ද විශාල වශයෙන් බලපෑම් කරනු ඇත.

'කොවිඩ්' වසංගතය හේතුවෙන් අඩපණ වුණු සංචාරක කර්මාන්තය යළි පණ ලැබුවා පමණි. මෙම 2022 වසරේ පෙබරවාරි අවසන් වනවිට මෙරටට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන් සහ යුක්රේනයෙනි. එසේ පැමිණි රුසියන් සංචාරකයන් ගණන 11,826 ක් බවත්, යුක්රේන සංචාරකයන් ගණන 12,690 ක් බවත් පැවැසෙයි. 
යුද ගැටුම් උත්සන්න වෙද්දී රුසියාවෙන් සහ යුක්රේනයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් අඩුවීමක් අපේක්ෂා කළ හැකිය. ඊට අමතරව, ගුවන් ගමන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් යුරෝපා රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ ද අඩුවක් දකින්න ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. රුසියානු යුක්රේන යුද ගැටුම් මෙරට අපනයන ක්ෂේත්‍රයට ද විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහසය. 

ශ්‍රීලංකාවේ තේ ගැනුම්කරුවන් අතරින් ඉරාකයට සහ තුර්කියට පසු තුන්වැනි ස්ථානයේ පසුවන්නේ රුසියාවය. 2021 වසරේ රුසියාවට අපනයනය කළ තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 29 කි. එහි වටිනාකම රුපියල් මිලියන 24,822 කි. යුක්රේනයට අපනයනය කළ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 4 කි. රහි වටිනාකම රුපියල් මිලියන 4,279 කි. 

මේ වනවිට ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් ද ජපානය සහ ඕස්ට්‍රේලියාව ද රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇත. රුසියාවේ බැංකු සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පනවා තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරීම රුසියාවට ගැටලුවක් වෙයි. එය ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ද සෘජු බලපෑම් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස වෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad