වගුරෙන් මතුවුණු පුංචි යෝධයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 27, 2022

වගුරෙන් මතුවුණු පුංචි යෝධයා

බැක්ටීරියා යනු පියවි ඇසට පෙනෙන දෙයක් නොවෙයි. අප අපට පරිසරයේ ඇති තරම් බැක්ටීරියා ජීවත් වෙයි. අපට හිතකර මෙන්ම අහිකර බැක්ටීරයා ද ඒ අතර ඇත. අප රෝගී කරන්නේ ඒ අහිතකර බැක්ටීරියාවන්ය. පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් ලෙස සැලකෙන බැක්ටීරියා දැක ගැනීමට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. 

ඒත් විද්‍යාඥයන්ට, කඩොලාන වගුරකින් නව බැක්ටීරියා විශේෂයක් හමුවී තිබේ. මේ බැක්ටීරියාව එසේ මෙසේ බැක්ටීරියාවක් නොවෙයි. යෝධ බැක්ටීරියා විශේෂයකි. විද්‍යාඥයන් මවිත කිරීමට මේ බැක්ටීරියාව සමත් විය. එපමණක් නොවෙයි; කොතරම් විශාලදැයි කිවොත් මේ බැක්ටීරියාව පියවි ඇසින් ද දැක ගන්න පුළුවනි. 

පියවි ඇසින් දකින්න පුළුවන් යෝධ බැක්ටීරියාවක් කීවාට මේ බැක්ටීරියා විශේෂය අලියකු තරම් යෝධයකු නම් නොවෙයි. සෙසු බැක්ටීරියා විශේෂ සමඟ සන්සන්දනය කරද්දී මෙම විශේෂය යෝධයෙකි. ප්‍රමාණය සෙන්ටි මීටරයකි. ඒ අනුව, ලොව විශාලතම බැක්ටීරියා විශේෂය ලෙස මෙම විශේෂය සැලකෙයි. 

‘තියෝමාගරීටා මැග්නිෆිකා’ Thiomargarita magnifica යනුවෙන් විද්‍යාඥයන් මේ බැක්ටීරියාව නම් කර තිබේ. විද්‍යාඥයන්ට මෙම නව බැක්ටීරියා විශේෂය හමුවූයේ කැරිබියන් දූපත් වල ලෙසර් ඇන්ටිල්ස් Lesser Antilles නමැති කුඩා දූපත් සමුහයේ ගෝඩේලූප් පළාතේ කඩොලාන වගුරු බිමේ ජලයේ ගිලී ගිය කඩොලාන කොළ මත ය. 
බැලූ බැල්ටම මෙම බැක්ටීරියාව වර්මිසෙල්ලි පැස්ටා වැනි සිහින් සුදු සූතිකා ලෙස පෙනෙන අතර, ආලෝකය විහිදුවන ඇසට නොපෙනෙන සල්ෆර් කැටිති ඒවායේ අඩංගු ය. මුතු ඇටයක දිලිසෙන පෙනුමට සමාව පෙනුමක් එයින් දිස්වෙයි. 

සෙසු බැක්ටීරියා විශේෂවලට වඩා දහස් ගුණයකින් විශාල බැවින්, ‘තියෝමාගරීටා මැග්නිෆිකා’, බැක්ටීරියා සෛල ප්‍රමාණ පිළිබඳ අප දන්නා සියලු දේ අභියෝගයට ලක් කර තිබේ. ක්ෂුද්‍ර ජීවීන් දැකිය හැක්කේ අන්වීක්ෂයකින් පමණක් යන අදහස ද බැහැර කිරීමට ‘තියෝමාගරීටා මැග්නිෆිකා’ සමත් වෙයි.

“අනෙකුත් බැක්ටීරියා වලට වඩා මෙම නව බැක්ටීරියා විශේෂය 5,000 ගුණයක් විශාලයි. සන්සන්දනය කිරීමක් කළොත් මනුෂ්‍යයකුට, එවසර්ට් කන්ද තරම් ලොකු තවත් මනුෂ්‍යයකු හමුවුණා වැනියි. කැරිබියානු දූපත්වල කඩොලාන පද්ධතිය තම නිවහන කර ගනිමින් මේ බැක්ටීරියාව වැඩෙනවා. ජීවත් වෙනවා. හරිම අපූරුයි.” යැයි කැලිෆෝනියා ජනපදයේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගාරයේ සමුද්‍ර ජීව විද්‍යාඥ ජීන් මාරි වොලන්ඩ් පවසයි.

“මේ නව බැක්ටීරියාවේ පරිවෘත්තීය සම්බන්ධයෙන් ගත් කළ, එය රසායනික සංශ්ලේෂණය සිදු කරන බව අප සොයා ගත්තා. ඒක හරියට ශාක ප්‍රභාසංශ්ලේෂණයට සමාන ක්‍රියාවලියක් යැයි කීවාට වරදක් නැහැ.” යැයි ද ජීන් මාරි වොලන්ඩ් වැඩි දුරටත් පැහැදිලි කරයි.

‘තියෝමාගරීටා මැග්නිෆිකා’ බැක්ටීරියාව ගැන අද අප මෙසේ කතා කළත්, මේ බැක්ටීරියාව සොයා ගෙන ඇත්තේ ඔලිවර් ග්‍රොස් නමැති විද්‍යාඥයාය. ඒ, 2009 වසරේදීය. 

ඔලිවර් ග්‍රොස්, ගෝඩේලූප් පළාතේ පොයින්තේ අ පීත්‍රේ තුඩුවේ ප්‍රංශ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි. එසේ වුවත් මේ දක්වා ‘තියෝමාගරීටා මැග්නිෆිකා’ ගැන කාගේවත් වැඩි උන්නදුවක් යොමු නොවිණි. හේතුව, බැක්ටීරියාවේ අසාමාන්‍ය විශාලත්වයයි. ඔලිවර් ග්‍රොස්, එය බැක්ටීරියා විශේෂයක් ලෙස සිතුවේ නැත. ඔහු සිතුවේ එය නව ආකාරයක පුස් වර්ගයක් කියාය. 

‘තියෝමාගරීටා මැග්නිෆිකා’ බැක්ටීරියා විශේෂයක් බව තහවුරු කර ගැනීමට ඔලිවර් ග්‍රොස් සහ ඔහුගේ කණ්ඩායමට වසර පහක් ගත විය.

“මා මුලින්ම එය දකිද්දී හිතුවේ කිසියම් පුස් වර්ගයක් කියලයි. ඒත් මාගේ කුතුහලය ඊට යොමු වුණා. එය කිසිම අවස්ථාවක අඩු වුණේ නැහැ. ඒ නිසයි වසර ගණනක අධ්‍යයනයකින් පසු තියෝමාගරීටා මැග්නිෆිකා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත අනාවරණය කර ගත්තා” යැයි ඔලිවර් ග්‍රොස් ‘සයන්ස්’ විද්‍යා සඟරාවට පවසා තිබේ. 
බැක්ටීරියා යනු වෙනම න්‍යෂ්ටියක් නැති අන්වීක්ෂීය, ඒක සෛලික ජීවීන් විශේෂයකි. බැක්ටීරියා පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් පාහේ දක්නට ලැබෙන අතර, පෘථිවියේ පරිසර පද්ධති සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබා දෙයි. අධික උෂ්ණත්වයක් යටතේ, අධික සීතලක් යටතේ, අධික පීඩනයක් යටතේ වුවත් බැක්ටීරියා නොනැසී ජීවත් වෙයි. 

මනුෂ්‍ය අපගේ සිරුරු බැක්ටීරියා වලින් පිරී ඇති අතර ඇත්ත වශයෙන්ම මිනිස් සෛල වලට වඩා බැක්ටීරියා සෛල අඩංගු බව ද පැවැසෙයි. ශරීරයේ බොහෝ බැක්ටීරියා හානිකර නොවන අතර සමහර ඒවා අපේ පැවැත්මට ප්‍රයේජනවත් වෙයි. අප රෝගී කරන්නේ කුඩා බැක්ටිරියා විශේෂයක් පමණි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom