අසූචි බැංකුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 5, 2022

අසූචි බැංකුවක්

මේ, අසූචිවල අඩංගු මිනිස් අපට හිතකර බැක්ටීරියා ගබඩා කිරීමේ බැංකුවක් ගැන කතාවකි. බැක්ටීරියා යනු වෙනම න්‍යෂ්ටියක් ඇති, අන්වීක්ෂීය ඒක සෛලික ජීව විශේෂයකි. සාමාන්‍යයෙන් බැක්ටීරියා පියවි ඇසට පෙනෙන්නේ නැත. බැක්ටීරියා දැක ගැනීමට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. 

 පෘථිවියේ සෑම අස්සක් මුල්ලකම බැක්ටීරියා ජීවත් වෙයි. අධික උෂ්ණත්වයක් යටතේත්, අධික සීතලක් යටතේත් බැක්ටීරියා ජීවත් වෙයි. මිනිස් සිරුර බැක්ටීරියාවලින් පිරී පවතී. මිනිස් සෛලවලට වඩා මිනිස් සිරුරේ ඇත්තේ බැක්ටීරියා සෛලය.

අපගේ සිරුරුවල ඇති බොහෝ බැක්ටීරියා අපට හානි කරන්නේ නැත. ඒවා අපේ පැවැත්මට උදව් වෙයි. අපගේ සිරුරට අහිතකර බැක්ටීරියා ද ඇත. අප ලෙඩ කරන්නේ මේවාය. ‘ඊයා’ කියැවුණත්, මේ අසූචි බැංකුවේ අදහස ඇත්තටම අපූරු එකකි. මේ අදහස තවමත් අදහසක් පමණි.  අදහස ඉදිරිපත් කර ඇත්තේ ඇමෙරිකාවේ හාඩඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය යැංග් යූ ලිං ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමය. 

 මිනිස් මල එසේත් නැතිනම් අසූචිවල ඇති හිතකර බැක්ටීරියා කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින්, විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර ඇත්තේ අසූචි සමග එම බැක්ටීරියා ගබඩා කර තබා ගෙන, අනාගතයේ දිනෙක ඒවා යොදා ගනිමින් සාර්ථකව ඇදුම, දියවැඩියාව, ස්නායු ආබාධ සහ අධික ස්ථුලභාවයට ප්‍රතිකාර කළ හැකි බවය.

රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට පමණක් නොව, අසූචිවල ඇති බැක්ටීරියා භාවිතයට ගනිමින්, වයසට යෑම ප්‍රමාද කිරීමේ නව ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීමට හැකිවනු ඇතැයි ද හාඩඩ් වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පවසති. 

අසූචි බැංකුවට අසූචි ලබා ගනිද්දී, ඒ සඳහා නිරෝගී අයට දායකත්වය ලබා දිය හැකිය. ඇමෙරිකානුවකුට සිය අසූචි ලබා දීමෙන් එක් වරකට ඇමෙරිකන් ඩොලර් 50 ක් (රුපියල් 18,000 ක් පමණ) ද, බ්‍රිතාන්‍ය ජාතිකයකුට නම් පවුම් 10 ක් (රුපියල් 4.500 ක් පමණ) ද, ලබා ගැනීමට හැකි වනු ඇතැයි පැවැසෙයි. 

 එසේ වුවත් කැමැති කැමැති ඕනෑම කෙනකුට අසූචි බැංකුවට අසූචි ලබා දීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. අසූචි බැංකුව සඳහා දායකත්වය සැපැයීමට නම් ඔබ සියයට 100 ක් නිරෝගී අයකු විය යුතුමය. අසූචි බැංකුවේ දායකයකු වීමට කැමැති ස්ත්‍රී පුරුෂ ඕනෑ අයකු පුළුල් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරෙනු ඇත. අසූචි බැංකුවේ දායකයකු වීමට නම් එම වෛද්‍ය පරීක්ෂණවලින් සමත් විය යුතුය. 

මේ වනවිටත් බටහිර රටවල වෛද්‍ය පර්යේෂකයන්, පෙකණිවැලෙන් ලබා ගන්නා ලේ ​එකතු කර ගබඩා කරමින්, මෙවැනි බැංකුවක් ස්ථාපිත කර තිබේ. පෙකණිවැලෙන් ලබා ගන්නා ලේ, කඳ සෛලවලින් පරිපූර්ණය. ඇතැම් පිළිකා මර්දනයට, ප්‍රතිශක්තිය අඩු රෝගවලට ප්‍රතිකර්ම ලෙස සහ ඇතැම් ජාන විකෘතිතාවලට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පෙකණිවැලෙන් ලබා ගන්නා ලේ භාවිතයට ගැනීම සිදුවෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom