ෂෙන්සෝ අබේගේ සමුගැනීම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 16, 2022

ෂෙන්සෝ අබේගේ සමුගැනීම

ඒ, 2012 දෙසැම්බරයයි. ජපානය දේශපාලන අර්බුදයක පැටැළී සිටියේය. 2007 සිට 2012 තෙක් කාලයේ අග්‍රාමාත්‍යවරු පස් දෙනකු ජපාන අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළහ. එහෙත්, ඔවුන් කිසිවකුටවත් රටේ පැවැති දේශපාලන අර්බුදය හෝ ආර්ථික අර්බුදය හෝ විසඳීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ නිසාම, ඔවුන් කිසිවකුටවත් මාස 16 කට වඩා බලයේ සිටීමට ද හැකියාවක් ලැබුණේ නැත. 

එදා ජපාන වැසියන්, අනෙක් සියල්ලටම වඩා දේශපාලනික ස්ථාවරත්වයක් අපේක්ෂා කරන්න විය. ජනතාවගේ මෙම අපේක්ෂාව ඉටු කිරීමට ඉදිරිපත් වූ නායකයා ෂෙන්සෝ අබේ ය. දේශපාලනික අස්ථාවරත්වය අවසන් කිරීමට අබේ පොරොන්දුවක් දුන්නේය. ජපන් ජනතාව අබේ විශ්වාස කළේය. 

ජපන් ජනතාවගේ ආදරය සහ ගෞරවය අබේට හිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට ද ෂෙන්සෝ අබේට හැකියාව ලැබුණි. ‘මට ඕනෑ ජපන් වැසියන් තුළ යළිත් වරක් ජපානය ගැන ආඩම්බරයක් ඇති කරවන්නයි. ජපානයේ ඉපදීම ගැන ආඩම්බරයක් ඇති කරවන්නයි. මට ඒක පුළුවන්’ යැයි අබේ, පළමු වරට ජපාන අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් ජනතාව ඇමැතුවේ මෙලෙසිනි.  අබේගේ මෙම ප්‍රකාශයට ඔල්වරසන් ලැබුණි. 
ෂෙන්සෝ අබේ දෙවරක් ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. පළමු ධුර කාලය කෙටි වූ අතර, එය එතරම් සාර්ථක වූයේ නැත. කෙසේ නමුත් 2012 වසරේ සිට 2020 දක්වා දෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී ජපාන අග්‍රාමාත්‍ය ධුරය ‘පරිවර්තනයකට’ ලක් කිරීමට අබේ සමත් විය. 

ඔහු ජපන් වැසියන්ගේ ගෞරවාදරයට පත් වූයේ මෙම දෙවැනි ධුර කාලයේදීය. ජපානයේ දේශපාලන ගමන් මඟ පමණක් නොව, ආර්ථික ගමන් මඟ ද පෙරැළිකාරී ලෙස වෙනසකට ලක් කිරීමට අබේ සමත් විය. නව ආර්ථික ප්‍රතිපත්ති හරහා ජපානයේ කඩා වැටී තිබුණු ආර්ථිකය ශක්තිමත් කළේ අබේ ය. අබේ ජාතිකවාදියෙකි. ප්‍රතිසංස්කරණවාදියෙකි. ආන්දෝලනාත්මක දේශපාලන නායකයෙකි. 

ෂෙන්සෝ අබේ උපන්නේ 1954 වසරේ ටෝකියෝ නුවරදීය. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ෂෙන්සෝ අබේ ජපාන දේශපාලන ප්‍රභූවරයෙකි. අබේගේ පියා 1980 දශකයේ ජපාන විදේශ අමාත්‍යවරයා විය. අබේගේ සීයා, 50 දශකයේ ජපාන අග්‍රාමාත්‍යවරයෙකි. අබේ නියෝජනය කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස අබේගේ සීයා සැලකෙයි. 
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු අවස්ථා දෙකකදී හැර වැඩිම කාලයක් ජපානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන දේශපාලන කණ්ඩායමය. වර්තමානයේ බලයේ සිටින්නේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඊට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්ය. 1977 වසරේ දී, ජපානයේ සෙයිකී විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමි කරගත් අබේ, ඇමෙරිකා ගියේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. 

වැඩිදුර අධ්‍යාපන කටයුතු අවසන් කළ අබේ, ජපානයට පැමිණියේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඒ, වසර දෙකකට පසුවය. එදා ජපානයේ බහුලව දකින්න ලැබුණේ වානේ කම්හල් ය. අබේ, ‘කෝබී’ වානේ කම්හලේ රැකියාවට ගියේය. අබේ නිල වශයෙන් දේශපාලනයට පිවිසියේ 1982 වසරේදීය. 

පළමුවෙන් අබේ, විදේශ අමාත්‍ය ධුරය හෙබවූ සිය පියා යටතේ විදේශ අමත්‍යාංශයේත්, පසුව පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේත් විවිධ තනතුරු හෙබවූයේය. අබේට මැතිවරණ ජයක් ලබා ගැනීමට තවත් වසර 11 ක් ගත විය. 1993 දී අබේ ට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී ධුරයක් හිමිවිය. ඒ අනුව ඔහු දේශපාලනික වශයෙන් ශ්‍රේෂ්ඨත්වය කරා යන ගමන ඇරැඹුවේය. 

2005 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දී, අබේගේ දේශපාලන ගමනේ පෙරැළියක් සිදුවිය. අග්‍රාමාත්‍යවරයා විසින් අබේ ට ඉහළ පෙළේ තනතුරක් පිරිනැමීම සිදුවිය. ඒ, ප්‍රධාන කැබිනට් ලේකම් ධුරයයි. ජපාන රජයේ ප්‍රබල ධුරයක් ලෙස මෙය සැලකෙයි. 
මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමට මෙම ධුරය අබේ ට වාසියක් වූ අතර, වසරක් ගත වෙද්දී අබේ ජපන් අග්‍රාමාත්‍ය පුටුවේ අසුන් ගත්තේය. අබේ, ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු පළමු අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍යවරයා ලෙස අබේ ඔහුගේ කොන්සවර්ටිව් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටත් කටයුතු කළේය. 

උතුරු කොරියාවට සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. කෙසේ නමුත් අබේ විවිධ අභියෝගවලට මුහුණ දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. අබේගේ රජයට නොයෙක් දූෂණ චෝදනා එල්ල වුණු අතර. අබේගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් පහළ වැටුණි. මේ වනවිට අබේ තවත් ගැටලුවකට මුහුණ දී සිටියේය. ඒ, ඔහුගේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවකි.
තමන් බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩා විදින බවත්, එම රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බවත් අග්‍රාමාත්‍ය අබේ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. අයහත් සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරමින් අබේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය. ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටියේ වසරක් සහ එක් දිනක් පමණි. අබේගේ පළමු ධුර කාලය අවසන් වූයේ එලෙසිනි. 

අබේගේ දේශපාලන ගමන් මඟ නතර කිරීමට, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයට හැකියාවක් ලැබුණේ නැත. 2012 දී ඔහු දෙවැනි වර අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. මෙවර, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලයට පැමිණියේ ශක්තිමත් ස්ථාවර දේශපාලන බලවේගයක් ලෙසය. 2012 සිට 2020 තෙක් අබේ අග්‍රාමාත්‍ය ධුරය හොබවමින්, වැඩිම කාලයක් ධුරයේ අග්‍රාමාත්‍ය ධුරයේ සිටි අග්‍රාමාත්‍යවරයා ලෙස වාර්තාවක් පිහිටුවුයේ ඒ අනුවය. 
2020 වනවිට ජපානය ‘කොවිඩ් 19’ වසංගතයෙන් ද බැට කන්න විය. රට නොසිතූ ආකාරයට ආර්ථික වශයෙන් ද අර්බුදයකට මුහුණ දුන්නේය. අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේට මෙය ලොකු පීඩනයක් විය. 

අබේගේ දේශපාලන ගමන අවසන් වූයේ 2020 දීය. අබේ අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේ දේශපාලන පරාජයකින් හෝ පක්ෂ නායකත්වය අහිමි වීමකින් හෝ නොවෙයි. ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස්විය. ඒ, ඒ වනවිට බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වය යළිත් වරක් උත්සන්න වී තිබුණු බැවිනි.

‘මාගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබෙනවා. මට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නත් ජනතාවට පූර්ණ ලෙස මාගේ සේවය ලබා දීමටත් හැකියාවක් නැහැ. ඒ නිසා මා අග්‍රාමත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන් ද සමුගන්නවා’ යැයි මාධ්‍ය හමුවක් පවත්වමින් හිස නමා ආචාර කරමින් අබේ යන්න ගියේය.

2012 වසරේ දී ෂෙන්සෝ අබේ දෙවැනි වර ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය හිමිවීමත් සමඟය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මෙම අවස්ථාවේදී අබේට අභියෝග කළ හැකි අයකු නොවීය. ඉන්පසු පැවැති මහ මැතිවරණ දෙකක් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය. ඒ, 2014 සහ 2017 දීය. 

ෂෙන්සෝ අබේ සිය දෙවැනි ධුර කාලය බාර ගත්තේ පරිනත දේශපාලනඥයකු ලෙසය. ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වූයේ ආර්ථිකය සහ ආරක්ෂාව කෙරෙහිය. ජපානය ශක්තිමත් කිරීමට සමත් වුණු අබේගේ නව ආර්ථික ප්‍රතිපත්ති, ‘අබේ-නොමික්ස්’ යන නමින් හැඳින්වීමට ජපාන දේශපාලන විශ්ලේෂකයන් සහ මාධ්‍ය කටයුතු කළේය. 

ජපාන වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණු, ජපානය දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන් ද ශක්තිමත් කළ විශිෂ්ඨ නායකයකු වුණු අබේ ඝාතනයට ලක් වූයේ ඇයි? මෙය මේ වනවිට ජපාන පොලිසියට ද ප්‍රෙහේලිකාවකි.

අබේගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී. ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමට මැතිවරණයක් පැවැත්විණි. ඒ, පසුගිය 10 වැනිදාය. එයින් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. 

ඒත් ඒ වනවිට ඔවුන්ට ෂෙන්සෝ අබේ අහිමි වී අවසන්ය. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වත්මන් නායකයා මෙන්ම ජපාන අග්‍රාමාත්‍යවරයා ද වන්නේ ෆුමියෝ කිෂිඩා ය. ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්වෙද්දී ෆුමියෝ කිෂිඩා ට ෂෙන්සෝ අබේගේ සහාය අවශ්‍ය විය. 

ඒ අනුව, දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි 67 හැවිරිදි ෂෙන්සෝ අබේ පසුගිය 8 වැනිදා නාගා නගරයේ වීදියක පැවැති මැතිවරණ රැළියකට සහභාගී වී රැස්ව සිටි ජනතාව අමතන්න විය. මාරයා තමන්ට අඩි කීපයක් පසුපස සිටින බව අබේ දැන සිටියේ නැත. ආරක්ෂක අංශ සාමාජිකයන් ද දැන සිටියේ නැත. 

ෂෙන්සෝ අබේ ට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල විය. පළමු වෙඩි උණ්ඩය ඔහුගේ ගෙල ප්‍රදේශය ද දෙවැනි වෙඩි උණ්ඩය ඔහුගේ පපුව ද පසාරු කළේය. වෙඩි තැබීම කළේ 41 ක් හැවිරිදි ජපන් ජාතිකයෙකි. ටෙට්සුයා යමගාමී නමැති එම තැනැත්තා වෙඩි තැබීම කළේ යූ ටියුබ් වීඩියෝ නරඹා ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ බැරල් දෙකේ තුවක්කුවකිනි. 
බරපතල තුවාල ලබා ලේ විලක් මැද වැටුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මියගියේ කඩිනමින් රෝහල්ගත කර පැය 3 ක් පමණ ගතවෙද්දීය. රෝහල් ගත කරන විටත් අබේ සිටියේ මරණ මංචකයේය. ටෙට්සුයා යමගාමී පොලිස් අත්අඩංගුවට පත් විය. යමගාමී, ගිනි අවි සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති, ජපාන නාවික හමුදාවේ ස්වේච්ඡා බලකා සාමාජිකයකු ලෙස වසර 3 ක් සේවය කළ අයකු බව ද අනාවරණය වී තිබේ. 

හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු පෞද්ගලික මට්ටමින් පැවැත්විණි. එසේ වුවත් දේහය රැගත් අවමංගල පෙරහර ටෝකියෝ නුවර වීදි පසු කරද්දී දස දහස් ගණනක් ජපන් වැසියෝ, පැවැති අයහපත් කාලගුණය ද නොකතා, දේහයට අවසන් ගෞරව දැක්වීමට රැස්ව සිටියහ. බොහෝ දෙනකු කඳුළු පිස දමන අයුරු දකින්න ලැබුණි. හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ අවසන් කටයුතු පසුගිය 12 වැනිදා පස්වරුවේ සිදුවිය.

ෂෙන්සෝ අබේ, ජපාන වැසියන්ගේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද ගෞරවාදරයට පාත්‍ර වුණු රාජ්‍ය නායකයකු බැවින්, විදෙස් රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙකු සොව පළ කර තිබුණි. ෂෙන්සෝ අබේ ශ්‍රී ලංකාවේ මිතුරෙකි. අපට හිතවත් ලෝක නායකයෙකි. ඔහු මෙරටට පැමිණි රාජ්‍ය නායකයෙකි. ෂෙන්සෝ අබේගේ අභාවය වෙනුවෙන්, ඔහුගේ අවසන් කටයුතු සිදුවුණු 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළේ ද එහෙයිනි. 
අබේගේ ඝාතනය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සොව පළ කළ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවඅසුවේ ඇමෙරිකාව සහ ජපානය අතර ශක්තිමත් මිතුදම් පවත්වා ගෙන යෑමට අබේ හේතුවක් වුණු බවය. සොව පළ කරමින් ධවල මන්දිරයේ ඇමෙරිකන් ධජ අඩකුඹු කිරීමට ද ජනාධිපති බයිඩන් උපදෙස් ලබා දී තිබුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතම මිතුරකු ලෙස ෂෙන්සෝ අබේ සැලකෙයි. 

හිටපු අග්‍රාමාත්‍ය අබේ වෙනුවෙන් සොව පළ කරමින්, පසුගිය 9 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ෂෙන්සෝ අබේ ඝාතනය සැලවීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශෝක පණිවුඩ නිකුත් කරමින් පැවැසීය. 

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ, ඊශ්‍රායල අන්තර්වාර අග්‍රාමාත්‍ය යාර් ලුපිද්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ආදිහු ශෝක පණිවුඩ නිකුත් කළහ. 
ඉන්දුනීසියාවේ පැවැති ‘ජී20’ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වූ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පෙර දැනුම් දීමකින් තොරව, පසුගිය 12 වැනිදා ෂෙන්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට ටෝකියෝ නුවරට පැමිණියේය. ඒ ඇමෙරිකාව නියෝජනය කරමිණි. 

ජපන් වැසියන් ෂෙන්සෝ අබේගේ දේහයට අවසන් ගෞරව දක්වද්දී, ජපාන රජය, අබේට එරට ඉහළම ගෞරව නාමයක් ප්‍රදානය කළේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ අයුරින් ගෞරව නාමයකින් පිදුම් ලැබූ සිවුවැනි ජපන් අග්‍රාමාත්‍යවරයා වන්නේ ෂෙන්සෝ අබේය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom