ජොන්සන් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2022

ජොන්සන් යයි

අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් මුල්කොට ගනිමින්, බ්‍රිතාන්‍ය දේශපාලනයේ පෙරැළියක් සිදුවිය. ජොන්සන්ගේ කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් 50 කට ආසන්න පිරිසක්, පසුගිය දා ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූයේ අග්‍රාමාත්‍ය ජොන්සන් ගැන අප්‍රසාදයෙනි. 

‘කවුරු අයින් වුණත් මට කමක් නැහැ’ සහ ‘කවුරු කීවත් මා යන්නේ නැහැ’ යැයි කියමින් මුරණ්ඩු වූ බොරිස් ජොන්සන් ට පසුගිය 7 වැනිදා අකමැත්තෙන් වුවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු ගැනීමට සිදුවිය. ඒ, ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂය තුළින් ඔහුට දිගින් දිගටම එල්ල වූ දැඩි පීඩනය හමුවේය. 

58 හැවිරිදි ජොන්සන්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේදීය. ඔහු දක්ෂ දේශපාලඥයෙකි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂය තමන්ට වඩා හොඳ නව නායකයකු තෝරා ගන්නා තුරු, තමන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ අගමැති නිල නිවස ඉදිරිපිටට රැස්වුණු මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේය. 

ඒ අනුව කොන්සවර්ටිව් පක්ෂය කඩිනමින් නව නායකයකු තෝරා ගැනීමට නියමිතය. අග්‍රාමාතය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙන්ම ජොන්සන්ගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද එම අවස්ථාවට එක් වූවාය. කැරී සිමොන්ඩ්ස් සිටියේ මාස 9 ක් වයසැති සිඟිති දියණිය රොමී තුරුළු කර ගනිමිනි. 

අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ රජයේ අමාත්‍යවරුන් බුරුතු පිටින් ඉල්ලා අස්වීම ආරම්භ වූයේ පසුගිය 5 වැනිදාය. පළමුවෙන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දීම කළේ බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය (චාන්සලර්) ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය (සෞඛ්‍ය ලේකම්) පාකිස්තාන සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු වන සජීද් ජාවිඩ්ය.

රිෂී සුනාක්, අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් වූයේ රජයෙන් ඉවත් වීමට ලැබීම කනගාටුවක් බවත්, පවතින වාතාවරණය යටතේ තමන්ට තම දුරටත් තම ධුරයේ රැඳී සිටිය නොහැකි බවත්ය. ‘දක්ෂ සහ ශක්තිමත් මෙන්ම විශ්වාසවන්ත රජයක් ජනතාව අපේක්ෂා කරනවා. ඒත් එවැනි රජයක් පවතිනවා යැයි මට පෙනෙන්නේ නැහැ. මා ධුරයෙන් ඉවත් වෙනවා. මෙය මා අමාත්‍ය ධුරයක් හෙබවූ අවසන් අවස්ථාව වන්න පුළුවනි. සිතට එකඟව මට මගේ ධුරයේ රැඳී සිටින්න බැහැ’ යැයි ද රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ජොන්සන්ට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් විය.

‘ඔබ කෙරෙහි මා තැබූ විශ්වාසය පළුදු වුණා. ඔබගේ නායකත්වය යටතේ තව දුරටත් වෙනසක් අපේක්ෂා කළත්, එසේ වෙනසක් නොවන බව පැහැදිලියි. ඒ ගැන පවසන්න සිදුවීම කනගාටුවක්. මා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.’ යැයි සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවිඩ්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් විය. 

ඉල්ලා අස්වන බව ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කළ ජාවිඩ් සෙසු කැබිනට් මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගෙන් මෙන්ම උප ලේකම්වරුන්ගෙන් (නියෝජ්‍ය අමාත්‍යවරුන්) ද ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය ජොන්සන්ට විරෝධය දක්වමින් ධුරවලින් ඉවත් වන ලෙසය. ඒ අනුව රිෂී සුනාක් සහ සජීද් ජාවිඩ් අනුගනය කරමින් තම තමන්ගේ ධුරවලින් ඉවත් වුණු උප ලේකම්වරුන් (නියෝජ්‍ය අමාත්‍යවරුන්) ගණ 38 ක් විය. 6 වැනිදා වනවිට එය 40 තෙක් වැඩි විය. 

අග්‍රාමාතය ජොන්සන්ට එරෙහිව ඔහුගේ අමාත්‍ය මණ්ඩලය තුළින් අප්‍රසාදයක් ගොඩ නැගීමට සිදුවීම් දෙකක් හේතුවිය. පළමු සිදුවීම නම්, ‘කොවිඩ්’ වසංගත සමයේ රට ලොක්ඩවුන් කර, ජනතාව නිවෙස්වලට කොටු කර තිබියදී, අග්‍රාමාත්‍ය ජොන්සන්, ඔහුගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අවස්ථා කීපයකදී රහසේ මධුවිත සාද පැවැත්වීමය. 

උපන් දින සාදයක් ද ඒ අතර විය. සාද පැවැත්වීම සිදුවූයේ අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසේදීය.‍ අග්‍රාමාත්‍ය ජොන්සන්, සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, ඔහුගේ රජය විසින් පනවනු ලැබූ සෞඛ්‍ය තහංචි උල්ලංඝනය කරමින්, සාද පැවැත්වීම පාර්ලිමේන්තුවට අනාවරණය කළේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. 

අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන් ඒ ගැන දැනගත්තේ එම අනාවරණයෙන් පසුවය. මුලදී විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළත්, සාක්ෂි ඉදිරිපත් වෙද්දී තමන් රහසේ මධුවිත සාද පැවැත්වූ බව අග්‍රාමාත්‍ය ජොන්සන් පිළිගත්තේය. පොලිස් පරීක්ෂණයක් ද ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ජොන්සන් පාර්ලිමේන්තුවෙන් සහ කොන්සවර්ටිව් පක්ෂයෙන් මෙන්ම ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේය.

නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් දඩ ගෙවීමක් ද කළේය. කොන්සවර්ටිව් පක්ෂය තුළින් අග්‍රාමාත්‍ය ජොන්සන්ට අප්‍රසාදයක් ගොඩ නැගෙන්න වූයේ ඒ අනුවය. මෙම කාරණය මුල්කොට ගනිමින් මෙම වසර මුලදී අග්‍රාමාත්‍ය ජොන්සන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ද පාර්ලිමේන්තු සභාවට ගෙන ඒම සිදුවිය. කෙසේ නමුත් ජොන්සන් ට එය පරාජය කළ හැකි විය. 

අග්‍රාමාත්‍ය ජොන්සන් අපකීර්තියට පත්වුණු දෙවැනි සිදුවීම ක්‍රිස් පින්චර් නමැති මන්ත්‍රීවරයා ය. ක්‍රිස් පින්චර්, ජොන්සන්ගේ ගජ මිතුරෙකි. ජොන්සන්ගේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේ ද මොහුය. කාන්තාවන් දෙදෙනකුට ලිංගික හිරිහැර කළේ යැයි පින්චර්ට චෝදනා එල්ල වී ඇත. එසේ චෝදනා එල්ල වී තිබියදී රජයේ ඉහළ තනතුරක් ඔහුට ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කළේය. 

එපමණක් නොව, 2019 වසරේ සිට පින්චර්ගේ අයහපත් ක්‍රියා කලාපය ජොන්සන් හොඳින් දැන සිටි බව ද පසුගිය දා අනාවරණය විය. ලොක්ඩවුන් තහංචි කඩ කළ ආකාරයට පින්චර් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලීමට අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගත්තේය. ඒත් ඔහුට සමාවක් ලැබුණේ නැත. ජොන්සන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි කිරීමට තරමේ විරෝධයක් ඔහුගේ කොන්සවර්ටිව් සගයන්ගෙන් එල්ල වූයේ ඒ අනුවය. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom