නෙළුම් කුලුන අද සිට මහජනතාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 15, 2022

නෙළුම් කුලුන අද සිට මහජනතාවට

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන මීටර 356 ක උසින් යුත් කොළඹ 'නෙළුම් කුලුනේ' මෙහෙයුම් කටයුතු අද (15 ) සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදා වේ. 
ඒ අනුව අද (15) සිට සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් සඳහා විවෘත වන අතර එය පෙරවරු කාලයේ පාසල් චාරිකා පැමිණෙන සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත. 

 මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එය නැරඹිය හැකි බවත් ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 500 හෝ රුපියල් 2000ක ප්‍රවේශ පත්‍රයක් ගෙන එය නැරඹිය හැකි බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. 

රුපියල් 2,000 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 500කටත්, 500 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 200කුත් ගෙවා ප්‍රවේශපත් ලබාගත යුතු බව විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක් අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය. 
එමෙන්ම පාසල්වලින් චාරිකා ලෙස පැමිණෙන පාසල් සිසුන්ටද රුපියල් 200 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන කුලුන නැරඹිය හැකි බව සමරසිංහ මහතා කීවේය. රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍ර යට ඇතුළුවිය හැකි අතර කුලුන ඇති අවන්හල්, සාප්පු ආදී ස්ථානයන්හි අවශ්‍ය තරම් කාලයක් රැඳී සිටීමේ අවස්ථාව වේ. 

රුපියල් 500 බැගින් වන ප්‍රවේශපත් ලබාගන්නා අය කණ්ඩායමක් එක්වන තුරු රැඳී සිට කණ්ඩායමක් ලෙස එය නැරඹිය යුතු අතර, ඔවුන්ට එක් එක් ස්ථානවල රැඳී සිටීමට ලැබෙන කාලය සීමිත වන බව ද ප්‍රසාද් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 

විදේශිකයන්ට ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ගෙන නෙළුම් කුළුණ නැරඹිය හැකි අතර, සෑම නරඹන්නෙකුටම කුලුන ඉහළ නෙළුම් පෙති ආකාරයෙන් ඉදිකර ඇති ප්‍රදේශයේ වන 29 වන මහලෙහි පිහිටි නැරඹුම් ස්ථානයේ රැඳී සිටිය හැකි උපරිම කාලය විනාඩි 30 කි. එහි එක්වර රැඳී සිටිය හැක්කේ 150ක පමණ පිරිසකට නිසා මෙම තීරණය ගෙන ඇතැයි සමරසිංහ මහතා කීය. 
ඉදිරි මාස කිහිපය තුළ ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි ද සමරසිංහ මහතා කීය. මෙය ඉදිකිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මෙය දිගින් දිගටම වසා තැබීමෙන් එහි වියදම තවත් වැඩිවන බවත් කී සමරසිංහ මහතා මෙය ආදායම් උපයන ස්ථානයක් බවට පත්කිරීම සමාගමේ අරමුණ බව ද පැවසීය. 

කුලුන නැරඹුම් ප්‍රදේශයට පිවිසීමෙන් පසු එහි සිට පහළින් දිස්වන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ මෙන්ම දුරදක්න මගින් නම් තවත් දුර බැහැර ප්‍රදේශ දැක ගැනීමේ අවස්ථාව නරඹන්නන්ට හිමිවේ. නෙළුම් කුලුන මෙහෙයුම් කටයුතු දෙවන අදියරේදී නැරඹුම් ප්‍රදේශයේ සිට ශ්‍රී පාදස්ථානය, සීගිරිය, නකල්ස් කඳුවැටිය වැනි ස්ථාන දැකගත හැකි දුරදක්න සවිකිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගම පවසයි. 

මෙහි නෙළුම් පොහොට්ටුවක හැඩැති කොටසේ ඇති 27 වන මහලේ පිහිටි කැරකෙන අවන්හල, 26 වන මහලේ පිහිටි 500 දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි උත්සව ශාලාව, බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල් සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම් ලබාගැනීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනු ඇත. 
එමෙන්ම මෙම පරිශ්‍රයේදී සංගීත ප්‍රසංග, සංස්කෘතික සංදර්ශන, ආහාර සැණකෙලි ආදිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී ගුවනේ ඇවිදීම්, ඉහළ සිට පහළට පැනීම් ආදී ක්‍රීඩා, පිවිසුම් ස්ථානයේ ජල රටා සංදර්ශන ආදිය ද මෙයට හඳුන්වාදීමට නියමිතය. 

නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ සභාපති, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.ටී රත්නායක මහතා පැවසුවේ නෙළුම් කුලුන මෙහෙයුම් කටයුතු අදියර තුනක් යටතේ සැලසුම් කර ඇති බවත්, දෙවන අදියර තව මාස දෙකක් පමණ ඇතුළත්ත්, තුන්වන අදියර ලබන වසරේ මාර්තු මස සිටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. 

දෙවන අදියර යටතේ ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක ශාඛා ද මෙහි ස්ථාපිත කෙරෙන අතර, පළමු මහල තුළ කාර්යාල පහසුකම් ලබාදීම, ඩිජිටල් සිනමා ශාලාව විවෘත කිරීම ආදිය තුන්වන අදියර යටතේ සිදුකෙරෙනු ඇත. එමෙන්ම මෙහි ස්ථාන ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලිපදනම මත ආයෝජකයන්ට ලබාදීමට ද පියවර ගෙන ඇති අතර මේ වන විටත් දෙස් විදෙස් සමාගම් සමඟ මේ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කර ඇතැයි රත්නායක මහතා කීය. 
මෙහි තුන්වන මහලේ විශාල කොටසක් විවෘතව පවතින අතර එය විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුලුන ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාරදීම සිදුවිය. 

මේ සඳහා චීන එක්සිම් බැංකුවෙන් ලබාදුන් ඩොලර් මිලියන 88.65ක ණය මුදලින් ලැබුණේ ඩොලර් මිලියන 68ක් පමණක් බවත්, ඉදිකිරීම් පමාවීම නිසා ඉතිරිය අහිමි වූ බැවින් සෙසු මුදල් ශ්‍රී ලංකා රජය විසින් යොදවා ඇති බවත් රත්නායක මහතා කීය. 
මෙහි පරිපාලන කටයුතු භාර කොළඹ, නෙළුම් කුලුන පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරෙන බව ද ඔහු පැවසීය. 

 මෙය අනාගතයේදී දෙස් විදෙස් සංචාරකයන්ට අපූරු විනෝදාස්වාද අත්දැකීම් ලබාදෙන ස්ථානයක් වනු ඇතැයි කී රත්නායක මහතා විවාහ මංගලෝත්සව ඇතුළු උත්සව, මංගල ඡායාරූප ගැනීම් ආදිය සඳහා ද මෙය ලබාදීමට නියමිත බව කීවේය. මෙහි විදුලි සෝපාන 8ක් වන අතර, තත්පර 49කින් කුලුනේ ඉහළට ගමන් කළ හැකි මෙරට වැඩිම වේගයකින් ක්‍රියාත්මක විදුලි සෝපාන 3ක් ද ඊට ඇතුළත් බව ඔහු සඳහන් කළේය. 

මේ අතර, දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද (15) සිට ආරම්භ වෙද්දී, කුලුන නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
මෙම ව්‍යාජ ප්‍රවේශ පත්‍රය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීමෙන් වළකින ලෙසත්, අද (15) සිට නෙළුම් කුලුන වෙත ගොස් එහිදී ප්‍රවේශපත්‍ර මිලදී ගෙන, එය නැරඹිය හැකි බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිඩුයේ සඳහන් වෙයි. කෙසේ වෙතත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතවීම සම්බන්ධව නොමිලයේ ලබාදුන් ප්‍රචාරය ගැන ව්‍යාජ ප්‍රවේශ පත්‍රය පළ කළ අයට ස්තුතිවන්ත වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත. 

සටහන සහ ඡායාරූප 
෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom