A/L ලියුවේ පෙම්වතාගේ උන්නදුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 4, 2022

A/L ලියුවේ පෙම්වතාගේ උන්නදුවට

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල ඉකුත් දා පැමිණියේ එම විභාගයට පෙනී සිටි දූ දරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵල ඔවුන් වෙත නෙළා දෙමිනි. මෙම කතාබහට එක්වන ඇය ද කලා අංශයෙන් විභාගයට පෙනී සිට ‘ඒ’ සාමාර්ථ තුනක් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ 96 වැනියා ලෙස සහ දිවයිනේ 1087 වැනියා ලෙස සමත් වෙමින් තම මහන්සියේ ප්‍රතිඵල නෙලාගෙන තිබේ. 

ඇය නමින් විජේමුණිගේ චාලනී මධුෂිකාය. ඇය අතරමග දී සිය අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පාසල් ජීවිතය අතරමගදී නවතා දැමූ යුවතියක යැයි කිවහොත් එහි වරදක් නැත. නමුත් පසුව ඇය අධ්‍යාපනයේ වටිනාකම වටහා ගැනීම නිසා අද මෙම ප්‍රතිඵලය ලබාගෙන තිබේ. 

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන ඇය 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන්නේ ‘A’ සාමාර්ථ 7ක්, ‘B’ සාමාර්ථයක් සහ ‘C’ සාමාර්ථයක් සමඟිනි. උසස් ලෙස සමත්වන ඈ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියදී පාසල් ජීවිතයට සමුදෙන්නට සිදුවන්නේ යොවුන්වියේ හැඟීම්වලට හා හිතුවක්කාරී ගතිවලට ඉඩදෙමින් ගත් වැරදි තීරණයක ප්‍රතිඵලයක් ලෙසිනි. එදින එසේ නොවූවා නම් අද ඇය ගණිත අංශයෙන් බොහෝ ඉදිරියට ගොස් සිටිනු නොඅනුමානය.
“මම ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ කිසිම අමතර පන්තියකටවත් යන්නේ නැතිවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අනුව ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ රත්නපුර බුළුගහතැන්න මහා විද්‍යාලයෙන් ඉවත්වී රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙන්න මට හැකි වුණා. අපි ජීවත් වුණේ මැටියෙන් හදපු ගෙදරක. මම උසස් පෙළ විභාගයට ලියද්දිවත් අපේ ගෙදර ලයිට් තිබුණේ නැහැ. මම පාඩම් කළේ කුප්පි ලාම්පුවේ එළියෙන්. ඒත් මගේ අම්මයි තාත්තයි මට උගන්වන්න හැමදේම කළා. තාත්තා මේසන් වැඩ කරමින්, අම්මා තේ දළු නෙළමින් මට ඉගැන්නුවා. එයාලට හිටිය එකම දරුවා මම. අම්මගේ තාත්තගේ මහන්සිය නිසාම මම සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වුණා. මම වැඩියෙන්ම ආශා කළ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන්න පටන්ගත්තා. ඒ කාලේ මමත් පාසල් ප්‍රේමයක පැටළුණා. ඒ නිසා අධ්‍යාපන කටයුතු අතපසු වුණා. විභාගවලට ලකුණු අඩුවෙද්දී මට ඉගෙනගන්න එපා වුණා.” ඇය පවසන්නීය. 

අනතුරුව ඇය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට පැමිණෙන්නේ දියණිය අධ්‍යාපනයෙන් ඉදිරියට යනු දකින්නට පෙරුම් පිරූ දෙමාපියන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කරමින් හා පාසලේ ගුරුවරුන්ගේ දැඩි විරෝධතා ද මධ්‍යයේය. ඒ අතර ඇයට පාසල් ප්‍රේමය ද අහිමි වී තිබේ.

“මම ඉගෙනගන්න එක නැවැත්තුවෙ අපරාදෙ කියල හිතෙද්දී මට ගොඩක් පරක්කු වෙලා. ඒත් කරන්න දෙයක් තිබුණෙ නැහැ. මම ආසාවෙන් හිටියෙ ගණිත අංශයෙන් ගොඩක් ඉදිරියට යන්න. ඒ වගේම මම ගැන අම්මයි තාත්තයි දැකපු හීන ඉෂ්ඨ කරන්නත් බැරිවුණා. අපේ ආර්ථික ප්‍රශ්න එක්ක මම දිගටම රස්සාව කරගෙන ඉන්න තීරණය කළා. ඒ අතරෙ මගේ ජීවිතයට තව කෙනෙක් එකතු වුණා. එයා තරංග සඳරුවන්. මම එයාට මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කීවාම එයා පුදුම වුණා. ඉගෙනීම කඩාකප්පල් කරගත්ත එක ගැන ඔහු මට දොස් කිව්වා.
ආයෙමත් විභාගෙට ලෑස්ති වෙන්න කීවේ එයා. ඒ උනන්දුව නිසාම මම කලා අංශයෙන් උසස් පෙළ කරන්න සූදානම් වුණා. නැවත අධ්‍යාපන කටයුතු අරඹා මාස දෙකක් යන විට කොරෝනා වසංගතය ආවා. රැකියාව නිසා මට ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන්න බැරිවුණා. ඒත් මම 2020 පෞද්ගලික අපේක්ෂිකාවක් ලෙස පළමුවරට උසස් පෙළට පෙනී සිටියා. එවර මගේ ප්‍රතිඵලය වුණේ ‘B’, ‘C’ හා ‘S’ සාමාර්ථ තුනක්.” එවර එලෙසින් විභාගය සමත් වුවද ඇගේ ඉලක්කය වන නීතිවේදය හැදෑරීමට එම ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවිණි. 

“ඔයා රස්සාවෙන් අයින් වෙලා ගමට ගිහින් පාඩම් කරන්න. මම වියදම් කරන්නම්...” කියමින් යළිත් ඇයව උනන්දු කළේ ඇගේ පෙම්වතාය. “රස්සාවෙන් අස්වෙලා ඉගෙන ගන්න කියලා ඊට පස්සෙ අම්මයි තාත්තයිත් කිව්වා. මම නැවත ඉගෙනගන්න යොමුවුණ නිසා එයාලත් ගොඩක් සතුටින් හිටියේ. මම නැවතත් ගෙදර ගිහින් කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරමින් විභාගයට සූදානම් වුණා.” 
යාපා බණ්ඩාර, තිළිණ ජයවර්ධන, රනිල් ප්‍රභාත් යන ගුරුවරුන් යටතේ දේශපාලන විද්‍යාව, සිංහල සහ බෞද්ධ සංස්කෘතිය යන විෂයන් හැදෑරූ ඇය යළිත් 2021 වසරේ විභාගයට පෙනී සිට ලබාගත් ප්‍රථිඵලය ඇයට නීතිවේදය හැදෑරීමට ප්‍රමාණවත්ය. ඇගේ මව වන කේ. මාලනී මහත්මිය මීට තෙමසකට පෙර විදේශගත වන්නේ ප්‍රමාදවී හෝ තම ඉලක්කය කරායාමට සැරසෙන දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් සොයන්නටය. ඇගේ පියා වන ඩබ්ලිව්.එම් නිමල් ශාන්ත මහතා ද දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශක්තියක්වීමට සූදානමින් සිටී. 

“මට ඕනෑ කාන්තාවන් වෙනුවෙන් භාෂා තුනෙන්ම අධිකරණ කටයුතු කරන නීතීඥවරියක් වීමටයි. ඒ වගේම මම හැමෝටම කියන්නෙ තමන්ගේ ගමන කවුරු නිසාවත් නවත්තන්න එපා. දෙමාපියන්ගේ හීන අතෑරෙන්න දෙන්න එපා. උනන්දුවෙන් උවමනාවෙන් දෙයක් කරනවා නම් අපිට මොන බාධා ආවත් අපේ ඉලක්කයට යන්න පුළුවන්. මට තියෙන දුක මගේ ජීවිතේ අවුරුදු තුනක් නාස්ති වුණ එක. ඒත් ප්‍රමාද වෙලා හරි මම මගේ ඉලක්කයට යනවා. ” ඇය පවසන්නීය. 

විදේශගතව සිටින තම ඥාති සොහොයුරකු වන නිශ්ශංක මුවර් මහතා ද යළිත් අධ්‍යාපන කටයුතු ඇරඹීමේදී තමන්ට විසල් ශක්තියක් වූ බවත්, වචනයකින් හෝ තමන්ට ශක්තියක් වූ සැමට ස්තුතිවන්ත වන බවත් ඇය කීවාය. අලුත් ගමනක් අරඹන ඇයට අපද සුබ පැතුම් එක්කරන්නෙමු. 

෴ ඩයනා උදයංගනී 
 උපුටා ගැනීම - සිරිකත

Classified_Ad

Classified_Ad_News_Bottom