![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjIez-ioZ4kponriCJuwyjKVaGUxD3neZ4_9HiSsjrAAU0wfGjuo3zVwjSzry39HC90qwWkP7krzc5imgFVw46Qs-EKxsLeUkV9a7CdtNsSAhiL2IweKxsGP_KeQQWoxN_Wa7XZj58r8nX8xCVi5KY8khOcOn7pFtp_qzakHG0kjnX01HmNcEEGtVTZaw/s16000/001.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha6VdSbccTwaw4ze6ccCTpEKfS5BuoVZGgDqtlRssrhqCvuRS-075cq7d9Vq0ztAPZjNaR0Uk1iEcdvq5xK0Chx_RhWuXtYKVP87cwyD08b8R3pQnN8Vsjce_V2GXIwT3iIrTYlsPQ7usIg7kRJH5pbBM5sijZQdPKqGAz4HrX0X8DZ35oytuP8yN0uw/s16000/Untitled-1.jpg)
මහජන ගෞරවය සඳහා ගොර්බචොෆ්ගේ දේහය තැන්පත් කර තැබුණේ මොස්කව් අගනුවර ‘හවුස් ඔෆ් යූනියන්ස්’ ගොඩනැගිල්ලේ ප්‍රධාන ශාලාවේය. දහස් ගණනක් රුසියානුවන් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ පැය ගණනක් පෝළිම්වල රැඳී සිටිමිනි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYjD0bz9PB6waa2SZwL76iJgyLVoPWcfDv0syDSrSpDV_-ipmXHm9jqLwJJ9VfddWlyK-ZcCG0Z3jnUstTQYGCO6isrxcEQo146gQU1Vm0Xq1nLm-zObC_izkG7zJTmcqry89F03LYO7Qr-oiZzYQp4qgVJsY1OzHqvQMj5kAt-S3ZK_orxW_qy0r45w/s16000/_126576608_d361dc24cc63952466398ba220bc64534d9505ed0_321_5187_29182000x1125.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9-Iu0KvkYy1TUOa3iTrbRcULIL6sX7M7j2s1HzPFjrt_npptpJlfQPeZxJoGH-3KLp2b6zQb27F3TZSViYCPK0bn-IcHwA1iQJOSLI5RsYx_qxecARagUmsrDQxzwKu2owWZ7mIoJ6vYfvNQ_MFzwU8NP8TGsfjb6QZ05Y6YRBaH584c5r8IDr4Z5HA/s16000/Pic-01.jpg)
පසුගිය කාලය පුරා රෝගාබාධ රැසකින් පීඩා විඳි ගොර්බචොෆ්, අභාවප්‍රාප්ත වූයේ පසුගිය අගෝස්තු 30 වැනිදාය. ඒ වනවිට ඔහු 91 හැවිරිදි වියෙහි පසුවිය. ගොර්බචොෆ් අවසන් සුසුම් හෙළුවේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය. ගොර්බචොෆ් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් නොපැවැත්වුණු අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඊට සහභාගී නොවිණි.
පුටින් ට අවමංගල්‍යයට සහභාගීවීමට ඉඩ නොලැබුණේ ඔහුගේ රාජකාරි කටයුතු හේතුවෙන් යැයි පැවැසෙයි.
එසේ වුවත් ගොර්බචොෆ් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් ශෝක පණිඩුයක් නිකුත් කිරීමටත්, රෝහලේ දේහය තැන්පත් කර තිබියදී ඊට අවසන් ගෞරව දැක්වීමටත් ජනාධිපති පුටින් කටයුතු කළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-E9g9fvmYWE9d870uAaL1LCaQULeGdEW-egUHMOJE0tjQIQpRZLqbr32wQTJI_wdlB0NckY9vAFSGTxS8xxqNoXVfVYcACdbAbP8-nODy3rIIC0ge24kJUW3K3L5dBJSJeR7-MYMzvebMLs-FOw508th6bHZp4gTTQtkh2eQW30SiLNJckjALcfOoCQ/s16000/_methode_times_prod_web_bin_215ba3a0-2a03-11ed-a830-74a6c8fbb722.jpg)
ජනපති පුටින් අවසන් ගෞරව දක්වමින් ...
සෝවියට් දේශයේ බිඳ වැටීමට ගොර්බචොෆ් හඳුන්වා දුන් නව ප්‍රතිසංස්කරණ හේතුවක් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද විශ්වාස කරයි. සෝවියට් දේශයේ බිඳ වැටීම රුසියාව මුහුණ දුන් මහා භූ දේශපාලනික අර්බුදයක් බව ජනපති පුටින් අවස්ථා ගණනකදී පවසා තිබේ.
මිහායිල් ගොර්බචොෆ්, ලෝකය වෙනස් කළ, මහ දැවැන්ත රාජ්‍යයක් බිඳ හෙළීමට දායක වූ 20 වැනි සියවසේ වඩාත් කතාබහට ලක්වුණු චරිතය යැයි කීවොත් එය නිවැරදිය. සෝවියට් දේශය නමැති නැගෙනහිර බල කඳවුරේ බිඳ වැටීම ගැන කතා කරද්දී, මිහායිල් ගොර්බචොව්ගේ නම සහ ඔහුගේ භූමිකාව වැදගත්ය.
1980 සහ 90 දශකවල විදෙස් පුවත් සේවා හරහා වැඩියෙන්ම අසන්න ලැබුණේ මිහායිල් ගොර්බචොව්ගේ නාමයයි. 1985 වසරෙන් පසු පාරිභාෂික වචන මාලාවට රුසියානු භාෂාවේ වචන දෙකක් එක් වූයේ ද මිහායිල් ගොර්බචොව් නිසාය. එම වචන දෙක ‘පෙරස්ත්‍රොයිකා’ (නව්‍යකරණය) සහ ‘ග්ලාස්නොට්’ (විවෘතභාවය) ය. ‘පෙරස්ට්‍රොයිකා’ සහ ‘ග්ලාස්නොට්’ යනු සෝවියට් දේශය කඩා වැටීම වැළැක්වීමට, මිහායිල් ගොර්බචොෆ් හඳුන්වා දුන් නවීන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යැයි ඇතැම් රුසියානුවන්ගේ විශ්වාසය වී තිබේ.
සෝවියට් දේශය යනුවෙන් රටක් අද නැත. රුසියාව, සෝවියට් දේශයට අයත් ප්‍රධානතම කොටසයි. අතීතයේ සෝවියට් දේශය බිහිවූයේ රුසියාව, යුක්රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස් කොකේසියන් රාජ්‍ය එක්වෙමිනි. 1918 වසරේ ඔක්තෝබර් විප්ලවයෙන් පසු බටහිර ධනවාදී බලයට එරෙහි ගොඩනැගුණු සෝවියට් දේශය නමැති දැවැන්ත කොමියුනිස්ට් රාජ්‍යය, 1991 තෙක් ලෝකය තුළ බල කේන්ද්‍රයක් විය. බටහිර ධනවාදී බලයට එරෙහිව ගොඩනැගුණු විකල්ප සමාජවාදී බලවේගය ලෙස සැලකිණි. සෝවියට් දේශය සමඟ අත්වැල් බැඳ ගනිමින් සමාජවාදී රාජ්‍යයන් බිහිවිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii2pmcU7vepFavEYwCr0yPVXzLbAuI9OvzGeR165wo2R8SI5g6kFHOYIRO2ST6DUHuH_ioSgjK57ycvPrCKXFQ9Q7JRtNK6n0n3EyTAlERWiQIXnG919DrXOLEn2Jn6E1xQSLxI8S3TGyOIQL0rd5DEYSFZugAez57e0SSBTSp1rWEeqJi3bseYM4SdA/s16000/%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%A0%E0%B7%9C%E0%B7%86%E0%B7%8A.jpg)
පුටින්, ගොර්බචොෆ් හමුවුණු අවස්ථාවක් ...
සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර බල කඳවුරත්, ධනවාදී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බල කඳවුරත් අතර, අවි අමෝරා ගනිමින් තර්ජනය කර ගනිමින්, භූ දේශපාලනික වශයෙන් පැවැති ‘කඹ ඇදිල්ල’ නිරවි යුද්ධය ලෙස අර්ථ ගැන්වෙයි. නිරවි යුද සමයේ දී බටහිර සහ නැගෙනහිර වශයෙන් දෙකකට බෙදුණු ලෝකය අවි නොමැතිව ගැටුමකට මුලපිරුවේය. අවි ගැටුමක් සිදු නොවුණත් අවි තරඟයකට යොමු වී සිටියේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWDH1UoafLRNfLUKYhj0834YQYjc_n7BqB5VBlyH964XURyRVrYWZOPNWbLyNcn7-WvCI0qkON1_b-Hbr9D5EIPlXYANTuJGbeMShhnEHhHptrzjKVeDl57R11tnENQfHOJyj-vtOCCum_Rd-StPC_yOj8vsPQfOaO86eD6FJKdaGEj-tgc9t52WqmYw/s16000/%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A_%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%90%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg)
මාග්‍රට් තැචර් හමුවුණු අවස්ථාවක් ...
බටහිර බල කඳවුරට අයත් වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල්ය. නැගෙනහිර බල කඳවුරට අයත් වූයේ සෝවියට් දේශය, එවකට පැවැති නැගෙනහිර ජර්මනිය, හංගේරියාව, බල්ගේරියාව ආදී රටවල්ය. යුරෝපයේ යකඩ තීරය හෙවත් ‘අයන් කර්ටන්’ යනුවෙන් හැඳින්වූයේ මෙම එකමුතුවය. නැගෙනහිර යුරෝපයෙන් ඔබ්බට පැවැතියේ කොමියුනිස්ට් සමාජවාදී දේශපාලන මතවාදය.
සෝවියට් දේශයේ බිහිවූ ළාබාලතම නායකයා ද ගොර්බචොෆ් ය. ගොර්බචොෆ් සෝවියට් දේශයේ නාකයත්වයට පත් වූයේ 1954 දීය. ගොර්බචොෆ් උපන්නේ 1931 වසරේදීය. 1950 දී නීතිය හැදෑරීම සඳහා මොස්කව් සරසවියට පිවිසි ගොර්බචොෆ්ට සිය අනාගත බිරිඳ වූ රයිසා මුණ ගැසුණි. රයිසා, නාගරික කාන්තාවකි. නගරයේ සිරිත් විරිත් ගොර්බචොව්ට හුරු කළේ ඇය යැයි පැවැසෙයි. දෙදෙනා විවාහ වූයේ විවාහ වූයේ 1953 දීය. ගොර්බචොව් යුවළගේ එකම දියණිය ඉරීනා උපන්නේ 1957 දීය. 1999 දී ලියුකේමියාව හේතුවෙන් බිරිඳ රයිසා, මිය යන තුරු ම ගොර්බචොෆ් ඇය තනි නොකළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjD-3lCAQdP_504Jqd9auXen50d-OCQk_rCNcn4P3eUyOs6D7xiXRUY1P2el81DiTuOutB37GcLz9wWZk-sTS3cTi9ZMipFN4iIuJgvm23pHUAHZZBUXcPhYzUoWMdkTC89sQwRs_V_JmR_FiNxts46sKufh45TgK3fxyv8Q4RqKkTquj7xY7L8YhO7uQ/s16000/%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%20%E0%B7%83%E0%B6%B8%E0%B6%9C.jpg)
බිරිඳ රයිසා සමඟ
1955 වසරේ දී මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකරගන්නා විටත්, ගොර්බචොෆ්, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන ක්‍රියාකාරිකයෙක් විය. ගොර්බචොෆ් වඩාත් ජනප්‍රිය නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් නායකයකු ලෙසය. 80 දශකයේ ගොර්බචොෆ්, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් වෙද්දී, සෝවියට් දේශයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ප්‍රබල වෙනස්කම් රැසක් කළ නායකයෙක් විය.
ගොර්බචොෆ්, බටහිර ලෝකයට විවෘත වූයේ සාමකාමී ලෙස අත දිගු කරමිනි. 1991 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයයෙන් ගොර්බචොව් පිදුම් ලැබුවේ ද ඒ නිසාය. ගොර්බචොෆ් ලෝකය පුරා කතාබහට ලක්වීමට හේතුව වූයේ ඔහුගේ පාලන කාලයේ සිදුවුණු ගෝලීය වෙනස්කම්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMiWjddRQTy7RA_8Ct7LikPq4RIbPtQqM3w3pXmuJ5IBMTs2oV0K1fzvq7b3BFXP4WRGcchv8_ZyG_6mwsTPRrJVi5f2oo309hkc2cvQRslFyxrI7LsNmLr4vcL9HEfLz-6j9wxj6qe9AE6XZDp1OtehmhjZDlJ4_ID30LTrdK0P_ygo3_DhufuRwHCQ/s16000/%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%20%E0%B6%A2%E0%B7%92%E0%B6%B8%E0%B7%93%20%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%83%E0%B6%B8%E0%B6%9C.jpg)
ඇමෙරිකන් ජනපති ජිමී කාටර් සමග
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaQJ1GzF11kCUQZ1u9YSP5e0LGPwPUOq5ufpToWY40w3xtFxl3s9LrhxVpMohcxwb9e_Vk7nteI7ex3CAt-P7nebs-3exFTlj6QGD4AuMboCx5nzYiHkWFU3z0hnfbY-Bkv_Q2sExBG80YoG1VWnpnphVD2hU--6gW8niKsgX4ZAfdM58IOM2ywcA2zQ/s16000/%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%20%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%20%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A%20%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A%20%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93.jpg)
ධවල මන්දිරයේදී ජෝර්ජ් බුෂ් හමුවී...
සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතුව ගොර්බචොෆ් යැයි රුසියානුවන් වැඩි දෙනාගේ විශ්වාසයයි. එසේ වුවත් එය නිවැරදි නොවන බවත්, එහි යම් සත්‍යයක් ඇති බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 1991 වසරේ දී සෝවියට් දේශයේ බිඳ වැටීම, එකවරම සිදුවූවක් නොවෙයි.
සෝවියට් දේශයේ ඉතිහාසය ගැන සලකා බලද්දී එය පිරිහෙන්න වූයේ ඉතා ක්‍රමක්‍රමයෙන් බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. සෝවියට් දේශයේ පිරිහීම සිදුවූයේ ඊට සම්බන්ධ කොමියුනිස්ට් රටවල පිරිහීමත් සමඟය. ඊට හේතු කීපයකි. වියපත් නායකත්වය සහ එකතැන පල්වුණු නායකත්ව රටාව ප්‍රධාන හේතු දෙකය. ළාබාලතම නායකයා ලෙස ගොර්බචොෆ්ට සෝවියට් දේශය බාර වූයේ ද මෙම හේතූන්ය.
1979 දී සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. එය අසාර්ථක ආක්‍රමණයක් වූ අතර, සෝවියට් සමූහාණ්ඩුව ආර්ථිකමය වශයෙන් මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද අස්ථාවර කිරීමට එය හේතුවක් විය. ඒ වනවිට, බටහිර රටවලට සාපේක්ෂව සෝවියට් දේශය දැඩි පසුබෑමකට ලක් වී සිටියේය. ආර්ථිකමය වශයෙන් පමණක් නොව, සමාජීය වශයෙන් ද පසුබෑමට ලක්වී සිටියේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg177Fabg2tQVcb6VyrRKsUtYPHxEqcm0xbGz_ZGELOB6LxT7o82v7RWjgi_Hcn9Vw3t4aWilcCFkxydI11fLrwskQpb4yKT5sfFaSi8PCbaedXxzTKVOK-ALIVpRr0f_hHlLkyhkynqianMjyaeSIWNx_vqgcgvQUOhbIsyXvEQJlW5t_3_xvw-ohWqw/s16000/%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.jpg)
කියුබාවේ සංචාරයදී කස්ත්‍රෝ සමඟ ...
සමාජවාදී පාලන සඳහාත් සමාජවාදී පක්ෂ පවත්වාගෙන යෑම සඳහාත් විශාල වශයෙන් මුදල් යෙදවීමට සෝවියට් දේශය කටයුතු කර තිබුණි. එය ද ආර්ථිකය පිරිහීමට හේතුවක් විය. සෝවියට් දේශයට සම්බන්ධ රටවල් සුබසාධන ආර්ථිකයන් පවත්වාගෙන යන්න වූ අතර එය ද ආර්ථිකමය වශයෙන් පිරිහීමක් ඇති කිරීමට හේතුවක් විය. කොමියුනිස්ට් මතවාදය ලොව ප්‍රචලිත කිරීමට එම රටවල් විශාල වශයෙන් මුදල් වියදම් කරන්න විය.
සෝවියට් දේශයෙන් එසේ ලැබුණු මුදල්වලින් යැපෙන්න වූ දේශපාලඥයන් අප්‍රිකානු සහ ආසියානු රටවල බිහිවිය. 80 දශකයේ මේ සියල්ල සමඟ සෝවියට් දේශය පසුගාමී තැනකට පැමිණෙමින් තිබුණි.
1985 වසරේ ගොර්බචොෆ් බලයට පත්වෙද්දී ඔහුට හිමිවූයේ ආර්ථිකමය පිරිහුණු, දේශපාලනික වශයෙන් අවුල්සහගත තත්ත්වයකට පත්වුණු, ඇෆ්ගන් යුද්ධය නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දුන් සෝවියට් දේශයකි.
ඒ සියල්ල වෙනස් කිරීමට ගොර්බචොෆ් උත්සාහ ගත්තේ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දෙමිනි. සෝවියට් දේශය වඩාත් විවෘත තැනකට ගෙන ඒමට ගොර්බචොෆ් ට අවශ්‍ය විය. සෝවියට් දේශය නව මුහුණුවරකින් ලෝකය හමුවට ගෙන යෑමට ගොර්බචොෆ් ගත් උත්සාහය අසාර්ථක විය. ඒ වනවිටත් බටහිර රටවලින් සෝවියට් දේශයේ දුර්වලතා හඳුනාගෙන තිබුණි. අවසානයේ, බටහිර අතපෙවීම් හමුවේ, ආසියාවත්, නැගෙනහිර යුරෝපයත් පුරා වසර 70 කට වැඩි කාලයක් තිස්සේ පැවැති සෝවියට් සමූහාණ්ඩුව කැබැලිවලට කැඩී වෙන් විය.
සෝවියට් දේශය එසේ බිඳී ගිය පසු රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ බොරිස් යෙල්ට්සින්ය. අනතුරුව රුසියාවේ බලයට පත්, වත්මන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන වැලැදිමීර් පුටින් ය. 2000 සිට 2008 දක්වා දෙවරක් පුටින් ජනාධිපති ධුරයට පත් විය. ඉන් සිවු වසරකට පසු 2012 වසරේ දී පුටින් යළිත් රුසියාවේ නායකත්වයට පත් පත්විය. මිහායිල් ගොර්බචොෆ්ගේ අභාවය සැලවුණු සැණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ශෝක පණිවුඩයක් නිකුත් කළේය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කියා සිටියේ මිහායිල් ගොර්බචොව් ලෝක ඉතිහාසය වෙනස් කළ නායකයකු බවය. ‘ලෝක සාමය වෙනුවෙන් කැපවුණු. ලෝක සාමය වෙනුවෙන් වැඩ කළ නායකයකු ලෙස මා මිහායිල් ගොර්බචොව් දකිනවා’ යැයි ගුටරේස්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මිහායිල් ගොර්බචොව් ගැන ශෝක පණිවුඩයක් නිකුත් කළේ ගොර්බචොෆ් දුර්ලභ ගණයේ නායකයකු බව පෙන්වා දෙමිනි. නිරවි යුද සමයේ පැවැති ‘භූගෝලීය දේශපාලනික ආතතිය’ තුරන් කිරීමට ගොර්බචොෆ් කළ කැප කිරීම් ඇගැයීමට ලක් කිරීමට ද බයිඩන් අමතක නොකළේය. යුරෝපා සංගමයේ ප්‍රධානී යුර්සුලා වොන් ඩර් ලින් කියා සිටියේ නිදහස් යුරෝපයක් ඇති කිරීමට මඟ සකස් කළ දුන්නේ මිහායිල් ගොර්බචොෆ් කියාය. ගොර්බචොව්ගේ උරුමය අමතක නොවන එකක් යැයි ද යුරෝපා සංගම් ප්‍රධානියා වැඩි දුරටත් පැවැසුවාය.
෴ලුසිත ජයමාන්න
උපුටා ගැනීම - BBC