2022 බුකර් සම්මානය දිනූ ලංකිකයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 18, 2022

2022 බුකර් සම්මානය දිනූ ලංකිකයා


2022 වසරේ බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය. ඒ, ඔහු විසින් රචිත, ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව වෙනුවෙනි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ යනු ෂෙහාන් කරුණාතිලකගේ දෙවැනි නවකතාව වීම ද විශේෂත්වයකි.

සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන ලොව ඉහළතම ජාත්‍යන්තර සම්මානයක් ලෙස සැලකෙතන බුකර් සම්මානය සැලකෙයි‍. ශෙහාන් කරුණාතිලක, බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ශ්‍රී ලාංකික ලේඛකයාය. බුකර් සම්මානය පළමු වරට දිනාගත්තේ මයිකල් ඔන්ඩච්චි ය. ඒ, 1992 වසරේ ඔහු විසින් රචිත ‘ද ඉංග්‍ලිස් පේෂන්ට්’ කෘතිය වෙනුවෙනි. 

ශෙහාන් කරුණාතිලකගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට පාදක වන්‍නේ 1980 සහ 1990 වසරවල ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයයි. නවකතාවේ ප්‍රධාන චරිතය වන මාලි අල්මේදා නමැති ඡායාරූප මාධ්‍යවේදියෙකි. නවකතාව ආරම්භ වන්නේ ඔහුගේ මළ සිරුර බේරේ වැවෙන් හමුවීමත් සමඟය. 

යළි මනුෂ්‍ය ලෝකය හා සම්බන්ධ වෙමින්, තමන්ගේ ඝාතකයන් කවුරුන්ද සොයමින්, තමා ඝාතනය වූයේ ඇයිදැයි සෙවීමට දින 7 ක කෙටි කාලයක් මාලි අල්මේදාට හිමිවෙයි. යුද සමයේ සිදුවුණු අපරාධ දැක්වෙන ඡායාරූප රැසක් සොයාගැනිමින්, තමන් ආදරය කළ අය වෙත යොමු වීමට ඒ අනුව මාලි අල්මේදා සමත් වෙයි.

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව බුකර් සම්මානය සඳහා තෝරාගත්තේ එම නවකකතාවේ ඇති, පාඨකයන්ට සමීප කරවන ජීවිතය සහ මරණය පිළිබඳ අත්දැකීම බව බුකර් සම්මාන විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා නීල් මැක්ග්‍රෙගර් පැහැදිලි පවසා ඇත. 

“ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා පාඨකයන් හමුවට ඉදිරිපත් කරන්නේ පුදුමය, සතුට, මෘදු මොළොක්බව, ආදරය, ස්නේහය, පක්ෂපාතීත්වය සහ ලැදිකමයි” යැයි නීල් මැක්ග්‍රෙගර් පැහැදිලි කර ඇත. නවකතාකරණයේ විද්වතුන් වන ෂහීදා බාරි, හෙලෙන් කාස්ටර්, එම් ජෝන් හැරිසන්, මහාචාර්ය ඇලන් මබන්කු විනිසුරු මඬුල්ලේ සිටි සෙසු සාමාජිකයන්ය. ෂෙහාන් කරුණාතිලකගේ කෘතියට බුකර් සම්මානය ලබාදීම විනිශ්චිය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බව විනිශ්චය මණ්ඩලයේ මුලසුන හෙබ වූ මැක්ග්‍රෙගර් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

බුකර් සම්මානය දිනාගැනීමෙන් පසු ඉංග්‍රීසි භාෂාවෙන් උත්සව සභාව ඇමතූ ෂෙහාන් ඉන් පසු සිංහල හා දෙමළ භාෂාවලින් ද උත්සව සභාව ඇමැතීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

“මේ පොත ලියුවේ ලාංකික ඔබ සැම වෙනුවෙන්. මේක දිනුමක්. අප රට පරාජය වෙලා ඉන්න වෙලාවක මේක අපට දිනුමක්. ළඟදි අපි නැමීබියාවට පැරැදුණා. කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක් මඩින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. අපි කොහොමහරි ලෝක ටී20 විස්සයි විස්ස කුසලානය දිනාගමු. ඒ්ක අපට බැරි නැහැ” යැයි ෂෙහාන් පැවැසුවේ ශ්‍රී ලාංකික සියලු දෙනා අමතමිනි.

ලන්ඩන් නුවර රවුන්ඩ්හවුස්හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ෂෙහාන් කරුණාතිලකට සම්මානය පිරිනැමීම සිදුවූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බිසව‍ කැමිලා පාකර් රැජින (රජ මෙහෙසිය) අතිනි. දෙවැනි එල්සබත් මහ රැජිනියගේ අභාවයෙන් පසු, බ්‍රිතාන්‍ය රජ කිරුළ පුතු චාල්ස් රජුට හිමිවීමෙන් පසු, රජ මෙහෙසිය ලෙස කැමිලා පාකර් සහභාගි වූ පළමු ප්‍රධාන පෙළේ උත්සවය ලෙස මෙය සැලකෙයි. 

සාහිත්‍ය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන ගත් කතුවරුන් ඇගයීමට ලක් කරමින් බුකර් සම්මානය මුලින්ම ප්‍රදානය ඇරැඹුණේ 1969 වසරේ දීය. බුකර් සම්මානය සමඟ ෂෙහාන් කරුණාතිලකට හිමිවුණු මුදල් ත්‍යාගය පවුම් 50,000 කි. 

2011 වසරේ සිය පළමු නවකතාව වන ‘චයිනමන් ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව්’ හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි. ‘චයිනමන් ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව්’ කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු ලොව දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි. 

ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලබා කොළඹ හැදී වැඩී, නවසීලන්තයෙන් වැඩි දුර අධ්‍යාපනය හදාරා  ඇත. ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ඔහු ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි. ඔහු 'ද ගාඩින්', 'නිව්ස්වික්', 'රෝලිංස්ටෝන්', 'ජීකියු', 'නැෂනල් ජියෝග්‍රැපික්', ද' ක්‍රිකටර්' සහ 'ඉකොනොමික් ටයිම්ස්' ආදී පුවත් සගරාවලට මෙන්ම පුවත්පත්වලට ද ලිපි සම්පාදනය කරයි.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom